සතොසින් කොළඹට පොල් ගෙඩි 12,500 ක් – ප්‍රධාන ශාඛාවට පොල් ගෙඩි 200යි

පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සදහා සතොස හරහා පොල් බෙදා හැරීමට තීරණය කර තිබුණත් කොළඹ දිස්ත්‍රික්කයේ සතොස සදහා බෙදා හැරීමට වෙන් කර තිබුණේ පොල් ගෙඩි 12,500ක් බව අනාවරණය වෙයි. ඒ අනුව කොළඹ කොටුව සතොස ප්‍රධාන ශාඛාවට ලැබී තිබුණේ පොල් ගෙඩි 200ක් පමණක් බවද වාර්තා වෙයි.

දහස් ගණනක ජනතාවක් ජීවත් වන කොළඹ කොටුව ආශ්‍රිතව පොල් මිලදී ගැනිමට හැකියාව ලැබී තිබුණේ පාරිභෝගිකයින් 66 දෙනෙක්ට පමණි. ඒ ඒක අයෙක්ට ලබාගැනීමට හැකියාව ඇත්තේ පොල් ගෙඩි තුනක් පමණක් වන නිසාය.

මෙසේ පොල් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට අවශ්‍ය ආකාරයට පොල් තෝරා ගැනීමට නොහැකි අතර පොල් ගෙඩි තුන බැගින් ශොපිං බෑග් වල අසුරා තිබුණි. එම පොල් තෝරා ගැනීමකින් තොරව පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට සිදුව තිබුණි.

වැවිලි සංස්ථවලින් රුපියල් 120ට පොල් මිලදී ගෙන සතොස හරහා රුපියල් 130ට පොල් අලෙවි කරන බවට සතොස සභාපතිවරයා සදහන් කළේය. කෙසේ නමුත් ඊයේ දිනයේදී මාලිගාවත්ත සතොස ශාඛාවට ලැබී තිබුණේ පොල් ගෙඩි පන්සියයක් පමණි. බොරැල්ල ශාඛාවට ඊයේ උදෑසන වන විටත් එක පොල් ගෙඩියක් හෝ ලැබී තිබුණේ නැත.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සාමාන්‍ය පොල් ගෙඩියක් රුපියල් 200ටත් කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 185කටත් අලෙවිකර තිබුණි.