මංගල සාදයේ කෑම විස වී 172ක් රෝහලේ

හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක ඉකුත් 11 වැනිදා රාත්‍රි‍යේ පැවති මංගල සාදයකට සහභාගි වූ, 280ක පිරිසකගෙන් එකසිය හැත්තෑ දෙදෙනකුට බරපතළ උදරාබාධයක් වැලඳී රෝහල්ගත කර තිබූ පුවතක් වාර්තා වනවා.

එම පිරිස අතර, මංගල උත්සවයට සහභාගි වූ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු දෙබරවැව, ලුණුගම්වෙහෙර, අම්බලන්තොට සහ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවයි හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ.

මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන්, ආහාරපාන සැපයූ ප්‍රසිද්ධ හෝටලයේ කළමනාකාරීත්වය සඳහන් කර ඇත්තේ අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට හෝටලය බැඳී නොමැති බවයි යනුවෙන් වාර්තා කරන ජාතික පුවත්පතක් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිද්ධිය දුර දිග ගෙන නොයන ලෙස ඉල්ලා, කළමනාකාරීත්වය රුපියල් ලක්ෂයක චෙක්පතක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයා අදාළ පුවත්පතට පවසා තිබුණේ, එදින රාත්‍රි ආහාරය සඳහා හෝටලයට දෙසීයකට ආරාධනා කර තිබූ බවත් 280ක පිරිසක් පැමිණි බැවින් මනමාල යුවළ සහ ළඟ ම ඥාතීන් ආහාර ගැනීමෙන් වැළකී සිටි බවයි.

මෙම සිද්ධියෙන් රෝගාතුර වූ පිරිස හම්බන්තොට කලාපයේ පදිංචිකරුවන් නොවන බැවින් තොරතුරු ලබාගැනීමට අපහසු කාර්යයක් වී ඇති බවත් අදාළ රෝහල්වලට වාර්තාවක් යවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතුළත් වන රෝගීන්ගේ මළපහ සාම්පල පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවත් හම්බන්තොට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළ බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!