හිජාබය ගැන බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ මත ගැටුමක් .

හෙදියන් රාජකාරියේදී හිජාබය පැළඳීමට අවසර දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශය පිළිබඳව භික්ෂූන්වහන්සේලා සිය අදහස් දක්වති .

ඒ අනුව මුස්ලිම් ආගමික හෙදියන්ට හිජාබය පැළඳ රාජකාරියට වාර්තා කිරීමට හැකි නම්, බෞද්ධාගමික හෙදියන්ගේ අනන්‍යතාවය පෙන්වීම සඳහා ඔවුන්ට ළමාසාරියෙන් සැරසී හෙද සේවයේ නිරත වීමට අවසර ලබා දිය යුතු බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් සහ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මාධ්‍යයට පැවසූහ .

උන්වහන්සේ ප්‍රකාශ කළේ, අමාත්‍ය විජිත හේරත් විසින් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති සාකච්ඡාවකදී මුස්ලිම් ජාතික හෙදියන්ට හිජාබය පැළඳ සේවය කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවට කළ ප්‍රකාශය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවයි.

රටේ ජනතාවගේ ඡන්දයෙන් වසර පහකට බලයට පැමිණ වසර ගණනක් පැරණි රටේ ඉතිහාසය, සංස්කෘතිය, රෝහල් පද්ධතිය, නිළ ඇඳුම, අධ්‍යාපනය ඇතුළු සියල්ල වෙනස් කිරීමට වත්මන් රජයේ අමාත්‍යවරුන් විසින් සිදුකරන සාකච්ඡා මේ වන විට ජනතාවට විහිළු සැපයීමට හේතුවක් වී ඇති බව ෞන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට විෂයභාර අමාත්‍යවරයෙකු සිටියදී විදේශ කටයුතු අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කිරීමට යෑම “බල්ලගෙ වැඩේ කරන්න ගිය බූරුවාගේ කතාව වගෙයි” යනුවෙන් උන්වහන්සේ තවදුරටත් කියා සිටිහ .

රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටී ඇති අවස්ථාවක, නිල කාමරයේදී පවා මිනිස් ඝාතනයක් සිදුව ඇති පසුබිමක, අමාත්‍යවරුන් සිදු කරන මෙවැනි ප්‍රකාශ “රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයූ උපමාවට” සමාන බව බෙංගමුවේ නාලක හිමියෝ පවසති .

මේ අතර හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන් හෙද සේවයට පැමිණීම හොඳ ක්‍රියාවක් බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසූහ .

උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ, එරෙහි විය යුත්තේ සම්පූර්ණයෙන් මුහුණ වසා ගැනීමේ ක්‍රම වන බුර්කාව සහ නිකාබය යන ඇඳුම්වලට පමණක් බවය.