හිඟන දේශපාලනඥයෝ කැමති මිනිස්සු දුප්පත් වෙනවට – ඇමති මනුෂ

හිඟන දේශපාලනඥයෝ කැමති මිනිස්සු දුප්පත් වී ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්නවා දකින්නට බවත්, පටු අරමුණු වෙනුවෙන්, අපේ රටේ තරුණයන්ගේ අනාගතය විනාශ කරන එක ඉතා පිලිකුල්සහගත බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසවා.

ඔහු මේ බව පැවසුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව යන පිරිසකට ගුවන් ටිකට්පත් සහ වීසා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විදේශ සේවා නියුතු කාර්යාංශයේ අද (15) පැවති උත්සවයක දී.

විශේෂයෙන් ඊශ්‍රායල රැකියා සඳහා විශාල තරුණයින් පිරිසක් අයැදුම් කරන බවත් ඉදිරියේ දී ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා සදහා දසදහසකුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා තිස්දහසකුත් ආදී වශයෙන් විශාල පිරිසක් යවන්න සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

විදේශගතවන ශ්‍රමිකයන් සිය ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් රටේ ආර්ථිකයට ද විශාල දායකත්වයක් ලබා දෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය රටේ විශාල ආර්ථික පිබිදීමක් ඇති කිරීමට දායක වන බවත් මේ වන විට විදේශගත ශ්‍රමිකයන් නිසා ඩොලර් බිලියන 10.8ක පමණ ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමට හැකි වී ඇති බවත් පෙන්වාදුන්නා.

රැකියාවෙන් ලබා ගන්නා දැනුම, අත්දැකීම් සහ ආදායම එක් කරගනිමින් නැවතත් ලංකාවට පැමිණ සාර්ථක ව්‍යවසායකයන් බවට පත් වී රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහනය කිරීමට ශක්තිය වන ලෙස රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

කෙසේ නමුත් ඊශ්‍රායල රැකියා සඳහා රටේ තාරුණ්‍ය යැවීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයෝ අකුල් හෙලන බවත් මෙය වහාම නතර කරන්නැයි ඉල්ලීම් කරන බවත් අමාත්‍යවරයා අනාවරණය කලා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස අදහස් එක් කළා.

“මේ පිබිදීම බලාගෙන ඉන්න බැරි අය නොයෙක් කතා කියනවා. ජවිපේ කිව්වේම තරුණයෝ ඊශ්‍රායල් යවන්න එපා කියලා. ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් කියනවා ඊශ්‍රායලය එක්ක තියන තානාපති සබදතා නවත්වන්න කියල.
එහෙම නැවැත්තුවොත් මේ විදියට තරුණයෝ රැකියාවලට යවන්න බැහැ.

කුහක දේශපාලනඥයන්ට අපේ රටේ තරුණයෝ රට ගිහින් ගොඩනැගෙද්දී බලන් ඉන්න බෑ. කොල්ලො කෙල්ලො ජීවිතේ හදාගන්නවට විරුද්ධව තමයි මේ හෑගහන්නේ. මම හරිම වේදනාවෙන් මේ ටික මතක් කරන්නේ

සජිත් බලන් ඉන්නේ මිනිස්සු අනාත වෙනකල්. මොනව හරි බෙදලා ඡන්දෙ එකතු කරගන්න සජිත් බලන් ඉන්නේ.

රවුෆ් හකීම් කියනවා ඊශ්‍රායලට තරුණ තරුණියෝ යවන එක නවත්තන්න කියලා. ඒ යවන්නේ පලස්තීනේ අය වැඩ කරපු තැන්වලට කියලා. අපි පලස්තීනය එක්ක තිබෙන රාජතාන්ත්‍රික සබදතාවය එසේමයි. ඊශ්‍රායලය එක්ක තිබෙන සබදතාවයත් එසේමයි. නොබැදි ප්‍රතිපත්තිය අනුව අපි කටයුතු කරන්නේ. එක එක රටවල්වල තිබෙන ප්‍රශ්නවලට, අර්බුදවලට අපි මැදිහත් වෙන්නේ නෑ.

කොහොම වුණත් පටු දේශපාලනික අරමුණු වෙනුවෙන්, ඊශ්‍රායල් ගමන නතර කරන එක පිළිකුල් සහගතයි. පෝලිම් යුගය අවසන් කර රටක් විදියට ගොඩනැගෙන්න විදේශගත ශ්‍රමියා දායක වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු අපට ඡන්දෙ දුන්නේ පක්ෂයක් රකින්න නෙමෙයි මිනිස්සු රකින්න.”