සෞඛ්‍ය ඇමති සහ වෛද්‍ය සංගමය ප්‍රසිද්ධියේ ගැටෙති

වෛද්‍යවරුන් කිසිවකුගේ අණට යටත් වීමට හෝ “වහලුන්” ලෙස සේවය කිරීමට සූදානම් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසීය. ඔහු මේ බව පැවසූවේ වෛද්‍ය ස්ථානාමාරු සම්බන්ධව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි .

වසර 13ක පමණ කාලයක සිට අක්‍රියව පැවති විධිමත් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය මේ වන විට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බවයි. ලබන මැයි 10 වන විට වෛද්‍යවරුන් 6,000ක් පමණ ස්ථානමාරු වීමට නියමිත බවත්, මීට පෙර ඇතැම් වෛද්‍යවරුන් වෘත්තීය සමිති බලය භාවිතා කරමින් අක්ෂි රෝහල වැනි ස්ථානවල වසර 13 සිට 17 දක්වා කාලයක් අක්‍රමවත් ලෙස රැඳී සිට ඇති බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය මෙසේ පැවසීය .

”රජයේ වෛද්‍යවරුන් හැටියට කිසිවෙකුටත් බියවන්නට අපාට හේතුවක් නෑ. ඒත් අමාත්‍යවරයාට අවශ්‍ය වන්නේ වෘත්තීය සමිති සමඟ ගැටුමක් නම් ඊට නිසි පිළිතුරු ලබා දීමට අපි සූදානම් . රජය විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ඇතැම් තීරණ මගින් වෛද්‍යවරුන්ගේ වෘත්තීය නිදහසට බාධා එල්ලවනවා . වෛද්‍යවරුන්ගේ කැමැත්තෙන් තොරව සහ ස්ථාපිත නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව, බලහත්කාරී ලෙස සේවය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් උත්සාහ කරනවා .

මෑතකදී සිදු වූ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය තුළ පවතින අක්‍රමිකතා සහ දේශපාලන මැදිහත්වීම් තමයි මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව . අපේ සංගමයේ වෛද්‍යවරු 23,000කට අධික පිරිසක් ඉන්නවා . ඒ කිසි කෙනෙක් මෙලෙස බලහත්කාරයෙන් සේවය කිරීමට සූදානම් නෑ.”

ඊයේ පැවති මාධ්‍ය දැනුවත්කිරීමට එක් වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.