විශ්වවිද්‍යාල ආචාර්යවරුනට ජනපතිගෙන් සුබ ආරංචියක්

සැප්තැම්බර් මාසය වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපේක්ෂා කරන මූල්‍ය සහන ඇතුළු වරප්‍රසාද ලබාදීම සලකා බැලීමට රජයට හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .

ජනාධිපතිවරයා මේ බව පැවස්සූවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සම්මේලනය (FUTA) සමඟ පැවති සාකච්චාවේදීය.

මෙම රැස්වීම සඳහා සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයින් සහභාගී වී සිටි අතර, ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු, මෙම ගැටලු සඳහා ගත හැකි විසඳුම් සහ පවතින ආර්ථික අවපාතය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ඇතුළු මාතෘකා රැසක් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනිණි.

විශ්වවිද්‍යාල පද්ධතියේ අවශ්‍ය පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය. වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අවධාරණය කරන ලදි.

දැනට පවතින මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් එලෙසම පවත්වාගෙන යමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දැනට අත්හිටුවා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව නැවත ලබාදීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *