විදෙස් ගත වන කාන්තාවන් මුහුණ දෙන ගැටලු අවම කිරීමට විදෙස් රැකියා ක්‍රියාවලිය කඩිනමින් ඩිජිටල්කරණය කරන්න.ගැමි කාන්තා පෙරමුණ

පවුලේත් රටේත් ආර්ථිකය ගොඩනැගීමට විදෙස්ගත වන කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස විදෙස් රැකියා ක්‍රියාවලිය කඩිනමින් ඩිජිටල් කරණය කරන ලෙස ජාත්‍යන්තර කාන්තා දිනයේ දී තමන් රජයෙන් ඉල්ලා සිටින බව ගැමි කාන්තා පෙරමුණ පැවැසීය. ඒ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනින් අනතුරුව ගාල්ලේ දී පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

එහි දී මාධ්‍ය හමුව ඇමතූ ගැමි කාන්තා පෙරමුණේ එම්. එච්. නස්මියා වැඩිදුරටත් මෙසේ ද පවසා සිටියා ය.

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන මෙරට කාන්තාවන් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. තාමත් කාන්තාව සමාජයේ ඉදිරියට එනවාට කවුරුත් කැමති නෑ. මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ට තියෙන එක ම විසඳුම විදේශ රැකියාවකට යාම විතරයි. ආර්ථික ප්‍රශ්නය වගේ ම දරුවන්ගේ ප්‍රශ්නවලිනුත් වැඩිපුර ම පීඩාවට පත් වෙලා ඉන්නේ කාන්තාව. ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් හොයන්න විදේශ රැකියාවකට ගියාට පස්සේ ඒ කාන්තාවගේ සැමියා, දරුවන් අසරණ වෙනවා විතරක් නෙවෙයි දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වෙන අවස්ථා තියෙනවා. මේවායෙනුත් පීඩාවට පත් වෙන්නේ කාන්තාව ම තමයි. ඒ වගේ ම විදේශ රැකියාවට යොමු වුණාට පස්සේ එතනදීත් විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා.

අඩුම තරමේ කාන්තාවන් විදේශගත වීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය වී හෝ තිබුණා නම් මුහුණ පෑමට සිදුවන මේ ගැටලුවලින් බොහොමයක් නිකම් ම අහෝසි වී යන්න තිබුණා.

විශේෂයෙන් ම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තියෙන අනවබෝධය නිසා රැකියා නියෝජිත ආයතනවලින් බොහෝ වංචාවන් සිදු කරනවා. රැකියා සඳහා විදෙස්ගත වන බොහෝ කාන්තාවන්ගේ වැටුප පවා හරි හැටි ලැබෙන්නේ නැති අවස්ථා බොහොමයි. ඒ වගේ ම අදාළ රටට ගියාට පස්සේ විඳීමට සිදුවන අපහසුතාත් බොහොමයි. ඒ නිසා රැකියාවන් සඳහා විදේශගත වන කිසිදු කාන්තාවක් ඉදිරියේ දී විශේෂයෙන් ම රැකියා නියෝජිතායතන නිසාත්, එසේ ම ක්‍රියාවලිය නොදැනීම හෝ වෙනත් හේතුවක් නිසාත් අපහසුතාවට, ගැටලුවලට ලක් නොවිය යුතුයි. මේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය වී තිබුණා නම් ක්‍රමවේදයේ විනිවිද භාවය නිසා ඕනෑ ම කාන්තාවකට පැහැදිලි අවබෝධයකින් යුතු ව තමන්ගේ විදේශ රැකියාව තෝරා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ගැමි කාන්තා පෙරමුණ විදියට අපි කරන්නේ එක ඉල්ලීමක් විතරයි. ඒ තමයි පවුලේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට විදෙස් ගත වන කාන්තාවන්ට තමන්ගේ රැකියාව සහ ක්‍රියාවලිය විනිවිද පෙනෙන ආකාරයෙන්, නියෝජිත ආයතනවල විවිධ සටකපටකම්වලට හසු නොවී, ප්‍රශ්න ගැටලුවලට මුහුණ නොදී විදෙස් ගත වීම සඳහා මේ ක්‍රියාවලිය ඉතා කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්න කියන එක.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *