වැස්ස අඩු වුණත් සුළං තත්ත්වය තවදුරටත්

අද (27) දිනයේ බස්නාහිර, සබරගමු, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල කඩින් කඩ වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

එම පළාත්වල ඇතැම් ස්ථාන‍යන්හි විශේෂයෙන් බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් 75mmක වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලට සන්ද්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ඇති විය හැකි බව සඳහන්.

බංගාල බොක්ක අවට තිබූ සුළි කුණාටු තත්ත්වය මේ වන විට බංගලදේශ වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ගමන් කර ඇති බවත්, නමුත් එහි වක්‍ර බලපෑම තවමත් දිවයිනට පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

එම හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට පොතුවිල් වෙරළබඩ තීරය හැර දිවයිනේ සෙසු වෙරළබඩ තීරවල සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකියි.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 -70 දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් මුහුද තරමක් රළු විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිවේදනය කළා. එමෙන්ම මුහුදු රළ ඉහළ යා හැකි බවත් විශේෂයෙන් මන්නාරමේ සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ තීරයේ මුහුදු රළ මීටර් 2.5 – 3 අතර ඉහළ යා හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදුනේ.

දිවයින අභ්‍යන්තරයේ සුළගේ වේගයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් දිවයිනේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ සහ බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල සාමාන්‍ය සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 – 50 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ නිරතදිග කොටස හැර අනෙකුත් පළාත්වල වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක් අපේක්ෂා කරන නමුත් නිරතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පවතින තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්තුමේන්තුව පවසනවා.