වැඩි වැටුප් ඉල්ලන සේවකයන්ට ආණ්ඩුව බය නෑ

වැඩි වැටුප් අපේක්ෂාවෙන් රට හැර යන බවට තර්ජනය කරමින් වරප්‍රසාද ඉල්ලන සිටින කණ්ඩායම්වලට රජය බිය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් බඳවාගත් සෞඛ්‍ය සහකාර නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබා මෙරට ආර්ථික දුෂ්කරතා තේරුම් ගනිමින් රට වෙනුවෙන් සේවය කිරීමට කැපවන පිරිසට අවශ්‍ය පහසුකම් ඉදිරියේදී ලබාදීමට රජය කටයුතු කරන බවයි.

රට හැර යන බව පවසමින් වරප්‍රසාද ඉල්ලා සිටිනා අයට වඩා රට තුළ රැඳී සිටිමින් සේවය කරන පිරිස රජයට වැදගත් බවත් ඔහු පැවසීය.

විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාවලිය පසුගිය පාලන සමයන්හිදී මෙන් දේශපාලන උවමනා මත දහස් ගණනින් පිරිස් රාජ්‍ය සේවයට පටවා ගැනීමේ ක්‍රමය වත්මන් රජය අත්හැර දමා ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ වෙනුවට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ආයතනවල සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන, විධිමත් සැලසුමකට අනුව බඳවා ගැනීම් සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයට අලුතින් ලක්ෂයක පිරිසක් පසුගිය මාස 12ක කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශවලට 10,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති අතර, ඉන් 8,000කට වැඩි පිරිසක් මේ වන විටත් බඳවාගෙන තිබේ.

රාජ්‍ය සේවයට ඇතුළත් වූ පසු සාමාන්‍ය නිදහස් ජීවිතයට වඩා වගකීම් සහගත වෘත්තීය ජීවිතයකට හුරුවිය යුතු බවත්, දේශපාලන අධිකාරිය ද ඒ හා සමාන වගකීමකින් බැඳී සිටින බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය