ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණයේ ඇතැම් විනිසුරුවරුන් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් වාර්තාවක් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එම විනිසුරුවරුන් නම් කරනු ලබන පසුබිමක බව පෙත්සම මඟින් පෙන්වාදි තිබේ .

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු නම් කර ඇත .

නොවැම්බර් 14 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අභියාචනාධිකරණයේ ඇතැම් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර ඇති බවට මෙම පෙත්සමෙන් චෝදනා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කරන ලද එකී ප්‍රශ්නාවලිය මොන් පෙර ඉදිරිපත් නොවූ එකක් බව පෙත්සම්කරුවෝ කියාසිටිති. එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බරපතල උල්ලංඝනයක් වන අතර එමඟින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී (1) වගන්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ඇතුළු ඇතැම් ඉහළ තනතුරු සඳහා පත්වීම් සිදුකිරීමේ අනිවාර්ය ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කර ඇති බව පෙන්වාදෙන පෙත්සම් කරුවෝ
අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලියේ අන්තර්ගතය අධිකරණයේ ස්වාධීනත්වය අමු අමුවේ හෑල්ලු කරන බව පවසති.