ලෝක කම්කරු දිනයට කොළඹ ආරක්ෂාව තර කෙරේ

1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතා ආරම්භ කලේය.දින කිහිපයක් පුරා පැවති එම විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමුවන දින 1889 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින ලෝක කම්කරු දිනය සමරන අතර කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැලි සහ උත්සව සංවිධාන කිරීම සිදුවේ.

මේ අතර මෙරට දේශපාලන පක්ෂ රැසක් අද දිනයේ මැයි රැලි සහ පෙළපාලි සංවිධානය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන මැයි දින රැලියට සහ පෙළපාලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි පෙළපාලිය සහ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ මැයි දින පෙළපාලිය මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසුවේය.

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන මැයි දින රැලිය කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ දී පැවැත් වේ.

පෙරටුගාමී සමාජවාදි පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඪයේ දි පැවැත්වෙන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය සහ පෙළපාලිය මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක සඳහන් කළේය.

ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ හැටන් නගරයේ දී සිය කම්කරු දින සැමරුම් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර අද දිනයේ පැවැත්වෙන මැයි රැලි සහ පෙළපාලි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *