ලොකු ගේමකට සෙට් වුන ගුවන් තොටුපොළේ යූනියන් ලොක්කෝ 28 ක් ගෙදර යවයි.

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පියවර ගෙන තිබේ.

මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයන් සම්බන්ධ වී සිටි.

ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව අදාළ අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිය මඟින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා විසින් පෙන්වා දෙයි.

එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සදහා මෙසේ මොවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වන බවද ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පවසයි.