ලක්ෂ 5 ක ඇප දෙකකින් උසාවියෙන් කෙළවර වූ සුරූපිනියකගේ පිඹුරු නර්තනය

පිඹුරෙකු ගෙලේ රඳවාගෙන සත්වයාට හිංසා වන අයුරින් නර්තනයේ යෙදුණු බවට චෝදනා ලැබූ නෙත්මි හිරන්‍යා නැමැති තරුණිය වනජීවී දෙපාර්තමේන්තුව විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කරන ලදි .

වනජීවී දෙපාර්තමේන්තුව සහ සැකකාර තරුණියගේ නීතීඥයන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ. ප්‍රේමරත්න නියෝග කළේය .

කොළඹ කුරුඳුවත්ත රෝයල් මාර්ක්ස් අරීනා පරිශ්‍රයේ පැවැති රාජකීය අවුරුදු කුමරා කුමරිය තේරීමේ උත්සවයේදී මෙම නර්තනය ඉදිරිපත්කර ඇත . එහි දර්ශණ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වනජීවී දෙපාර්තමේන්තුව දැඩි විවේචනයට ලක්විය .

ඊට අදාලව ප්‍රකශයක් ලබාගැනීමට මෙම තරුණිය වනජීවී දෙපාර්තමේන්තුවට කැඳවූ මුත් ඇය නොපැමිණි බව එම දෙපාර්තමේන්තුව වීසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ඇය අත් අඩංගුවට ගැනීමට ඊයේ වරෙන්තු නිකුත්කරනා ලදි .

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට වනජීවී කාර්යාලයට පැමිණි අවස්ථාවේදී අද ඇයව අත්අඩංගුවට ගත් බව වන ජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටිනා ලදි .

මෙම නර්තනය සඳහා පිඹුරා ලබා දුන් බුත්තල ප්‍රදේශයේ පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමටත්, ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගෙන්ද මීට අදාලව ප්‍රකාශයක් ලබාගැණීමට නියමිතය .