රන්වලගේ සල්ලි අපිට එපා. වින්දිත පාර්ශවය කියයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) මහර ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය.

අද දිනයේ අධිකරණය හමුවේ නඩුව කැඳවූවද සැකකාර අශෝක රන්වලගේ මූත්‍රා හා ලේ සාම්පල පරික්ෂාව ඇතුළත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැත . සිදුවීමට අදාළ වෛද්‍ය වාර්තාව මේ වන විට රජයේ රසපරීක්ෂකවරයාට යොමුකර ඇති බවත් එහි ප්‍රතිපල තවමත් නොලැබී ඇති බවත් පොලීසිය අධිකරණය වෙත දැනුම් දෙනු ලැබූවේය.

තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනා සැකකාර මන්ත්‍රීවරයාද අද දිනයේ අධිකරණයට ඉදීරිපත් කර තිබුනේ නැත. ඔහු වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් අධිකරණය කමුවේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත කරනා ලදි .

මෙහිදී වගඋත්තරකාර අශෝක රන්වල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසූවේ සිදුවීමෙන් තුවාළ ලබා පාදයකට හානිවී සිටින කාන්තාවට රුපියල් 50,000 ක මුදලක් සහ තුවල ලැබූ බිළිදාට සහ ඔහුගේ මවට රුපියල් 25,000 බැගින් මුල් අවස්ථාවේ ලබාදීමට කටයුතු කළ හැකි බවයි.

එහිදී පැමිණිලිකාර පාර්ශවයෙන් පාදයකට දැඩි හානි සිදුව ඇති කාන්තාවගේ සැමියා අධිකරණයට දැන්වූයේ තමන් එම මුදල ලබාගැනීමට සූදානමක් නොමැති බවයි.

සැක්කාර අශෝක රන්වල තවමත් රෝහල් ගතව සිටීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසා සිටියේ සිදුවීමෙන් තුවාල ලැබූවේ පැමිණිලිකාර පාර්ශවයද නැතහොත් විත්තිකාර පාර්ශවයද යන්නයි.

එහිදී පිළිතුරු දුන් සපුගස්කන්ද පොලිස් නිලධාරීන් සදහන් කළේ පැමිණිලිකාර පාර්ශවයේ මෝටර් රථයේ ගමන්ගත් පිරිස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

සැකකරු තුවාල ලබා නැතිනම් තවමත් රෝහල් ගතව සිටින්නේ ඇයිද මහේස්ත්‍රාත්වරයා නැවතත් විමසා සිටියේය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසූවේ තම සේවාදයකයාගේ අශෝක රංවලගේ ශාරීරික යෝග්‍යතාවය තවමත් යහපත් තත්ත්වයේ නොමැති බැවින් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අශෝක රංවල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමට නියෝග කළේය . ඊට අමතරව ඔහු රෝහලෙන් පැමිණි පසුව ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයෙන් යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වී එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය
නඩුව යළිත් 2026 වසරේ ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතයි.