රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි ලෙස විවේචනය කරමින් ඒවා මාපියන්ගේ අයිතිවාසිකම් අහිමි කරන බවත් මෙරට සංස්කෘතික හා ආගමික පදනම්වලට හානි කරන බවත් කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පවසති .
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී හඳුන්වා දුන් ලිංගික අධ්‍යාපන විෂය මාලාව පිළිබඳ කාදිනල්තුමෝ දැඩි කණස්සල්ල පළ කළහ . එම වැඩසටහන විවාහය, පවුල් ජීවිතය සහ සදාචාරය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් සමඟ ගැටෙන අදහස් ප්‍රවර්ධනය කරන බවට කාදිනල්තුමෝ චෝදනා කළහ . හංවැල්ල ශාන්ත ජෝශප් දේවස්ථානයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ .
“අද සමාජයේ විවාහ ජීවිතය අඩපණ කරන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එවැනි එක් ගැටළුවක් වන්නේ අපගේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී සකස් කරන ලද ලිංගික අධ්‍යාපන විෂය මාලාවයි. ඔවුන් මේ හරහා අපේ දරුවන්ට හරියටම උගන්වන්නේ මොකක්ද . අවුරුදු හයක් තරම් කුඩා දරුවන්ගෙන් ආරම්භ වී වැඩිහිටි විය දක්වාම, මෙම ලිංගික අධ්‍යාපනය විවිධ ආකාරයේ වැරදි හැසිරීම් උගන්වනවා, දරුවන්ට මෙම ක්‍රියාවන්හි යෙදිය හැකි බවත්, ඒවා පිළිගත හැකි බවත්, කිසිදු වරදක් නොමැති බවත් කියනවා. වත්මන් රජය මාපියන්ගෙන් මෙම අයිතිය උදුරා ගන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ප්‍රවර්ධනය කරන බව අපට පෙනෙනවා. මෙය අපට පිළිගත නොහැකි දෙයක්, ”කාදිනල් හිමියෝ පැවසූහ .