මෙක්සිකෝවේ ජනාධිපති ධූරය ප්‍රථම වතාවට කාන්තාවකට

Claudia Sheinbaum මහත්මිය මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය ලෙස තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

61 හැවිරිදි ඇය මෙක්සිකෝ නගරයේ ප්‍රථම නගරාධිපතිවරිය ලෙස ද කටයුතු කර තිබෙනවා.

මෙක්සිකෝවේ නිල මැතිවරණ අධිකාරිය පවසා ඇත්තේ මූලික ප්‍රතිඵල අනුව පසුගිය දා පැවති මැතිවරණයෙන් 58% සහ 60% අතර ඡන්ද ප්‍රතිශතයක් ඇය ලබා ගත් බවයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එම ප්‍රතිඵල අනුව Sheinbaumගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ව්‍යාපාරික Xóchitl Gálvez ට වඩා ඇය මනාප 30%කට වඩා ඉදිරියෙන් සිටින බවයි.

Sheinbaumගේ ජයග්‍රාහණයත් සමග ඇය සිය ඡන්දදායකයින්ට පවසා ඇත්තේ “මම ඔබව පරාජය කරන්නේ නැති බවයි”.

මෙක්සිකෝ නගරයේ ප්‍රධාන චතුරශ්‍රය වන Zócalo හි Sheinbaum මහත්මියගේ ආධාරකරුවන් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නගන බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජනාධිපති ධුරයට තරඟ කිරීමට පෙර, Sheinbaum මහත්මිය මෙක්සිකෝ නගරයේ නගරාධිපතිනිය වූ අතර, එය රටේ වඩාත්ම බලගතු දේශපාලන තනතුරුවලින් එකක් වන බවත් එම තනතුර ඇයට ජනාධිපති ධූරය ලබා ගැනීමට උපකාරී වූ බවත් දේශපාලන විශේෂඥයන් පෙන්වා දෙනවා.

Sheinbaum මහත්මිය දේශපාලනයට පිවිසීමට පෙර විද්‍යාඥවරියක ලෙස කටයුතු කර තිබෙනවා.

ඇය මෙක්සිකානු බලශක්ති පරිභෝජන රටා අධ්‍යයනය කරමින් කැලිෆෝනියාවේ සුප්‍රසිද්ධ පර්යේෂණාගාරයක වසර ගණනාවක් සේවය කර ඇති අතර දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥවරියක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

එම අත්දැකීම සහ ඇයගේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය මත මෙක්සිකෝ නගරයේ පරිසරයේ ලේකම් තනතුර ඇයට ලබා දී තිබෙනවා.

ඉන් පසු 2018 දී ඇය මෙක්සිකෝ සිටි හි පළමු කාන්තා නගරාධිපති බවට පත් වූ අතර, ඇය 2023 දක්වා ජනාධිපති ධුරයට තරඟ කිරීමට ඉවත් වන තෙක් එම තනතුර දැරූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.