මත්පැන් සහ වැලි ප්‍රවාහනය තහනම් මාර්ගයක්.

දිට්වා සුලි කුණාටුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට සිදු වී ආපදාව හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා විශාල ලෙස වැලි අත්‍යාවශ්‍යව තිබේ . එසේ වුවත් මහියංගණයේ සිට වලපනේ හරහා නීතියානුකූලව වැලි ප්‍රවාහණය කිරිමට නුවරඑලිය කොට්ඨාශභාර පොලිස් අධිකාරිවරයා ඉඩ ලබා නොදෙන බව නුවරඑලිය වැලි ප්‍රවාහණය කරනනන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ගීගනගේ පවසයි.

(14) දින වැලි ප්‍රවාහනය කිරිම සඳහා පතල් හා භූ විද්‍යා කාර්යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක් අනුව මහියංගණයේ සිට කන්දකැටිය වලපනේ හරහා නුවරඑළියට වැලි ප්‍රවාහනය කිරිමට අවසර ලබා දී තිබූ බවත්, ඒ අනුව වැලි ප්‍රවාහනය කිරිමට යොදවා තිබු ටිපර් රථ 5 ක් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත කන්දේකැටිය පොලිස් මුරපොළ අසළ නතර කර තිබෙන බවත් දිනේෂ් ගීගනගේ පවසයි .

තමන් මේ පිලිබදව නුවරඑලිය මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරවරයාගෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගෙන් කරුණු විමසු බවත්, එවිට ඔවුන් දෙදෙනාම නුවරඑලිය වැලි අත්‍යාවශ්‍ය බවත්, වැලි ප්‍රවාහනය කිරිමට එම මාර්ගයේ කිසිදු තහනමක් පනවා නැතිබවත් පැවසු බව ඔහු පවසයි .

අනතුරුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් මේ පිළිබඳව විමසූ බවත්, එවිට ‍තමන් එම මාර්ගයේ වැලි සහ මත්පැන් ප්‍රවාහනයට ඉඩ ලබා නොදෙන බව පැවසු බව නුවරඑලිය වැලි ප්‍රවාහණය කරනනන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ගීගනගේ පවසයි .

අප මේ සම්බන්ධයෙන් නුවඑළිය කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රෙස්කර බණ්ඩාර මහතාගෙන් (14) දින කල විමසුමකට ඔහු කියා සිටියේ උදෑසන ටිපර් රථ කිහිපයක් නතර කර තිබු බවත්, එම ටිපර් රථ නුවරඑලිය දක්වා ප්‍රවාහනය කිරිමට කටයුතු කරන ලෙස කනද්කැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ බවත් ය.