බිලියන 3 ක හෙරොයින් සමග ධීවර යාත්‍රවක් අත්ඩංගුවට

දකුණු මුහුදු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

එම යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු මැබීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත . එම යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බව තහවුරුව ඇතිබවත් , එහි වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවත් ඔහු පැවසීය .

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේදී නාවික හමුදාව විසින් වැටලූ අතර ඒ තුළ උර 6 ක බහා මෙම මත්ද්‍රව්‍ය තිබූ බවත් පැවසේ .

යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 5 ක්ද නාවික හමුදා භාරයට ගනු ලැබීය . යාත්‍රාව දිකෝවිට ධීවර වරායට ගෙන ඒමෙන් අනතුරුව එම පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බේරුවල මුහුදු සීමාවේදී තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවත්, එම යාත්‍රාව මේවන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙහිදී අනාවරණය කළේය.