බලශක්තිය ඇමති අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලයි .

විගණකාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇති ලක් විජය බලාගාරය ආශ්‍රිත විගණන වාර්තාව මගින් බාල ගල් අඟුරු ප්‍රසම්පාදනය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව තහවුරු වන බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි .

ඒ අනුව වහාම ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ ඉල්ලීමක් කළේය.

හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී සිදුවූ බාල ඖෂධ වංචාවේ වටිනාකම
ලක්ෂ දහසක් වන අතර, වර්තමාන ආණ්ඩුව යටතේ බාල ගල් අඟුරු වංචාවේ වටිනාකම
රුපියල් ලක්ෂ 20 000 ක් පමණ වන බව ඔහු පවසයි . ඒ අනුව ලියාපදිංචි නැති සමාගමකට ප්‍රසම්පාදනය ලබාදීමේ යාන්ත්‍රණයේ සිට මෙහි කුමන්ත්‍රණයක් පවතින බව ඔහු පවසයි .

මෙමගින් රජයට බරපතළ ආර්ථික හානියක් ද, විදුලිබල කප්පාදුව හා විදුලි බිල ඉහළ දැමීම හරහා මහජන වෙත ඍජු හා වක්‍ර ආර්ථික හානියක්ද සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි .
බාල ගල් අඟුරු වල පවතින ඉහළ රසදිය ප්‍රතිශතය නිසා මිනිසා හා මත්ස්‍ය ජීවීන්ට සිදුවන හානිය හා පරිසර හානිය ගණනය කළ නොහැකි බැවින් වහාම මේ සම්බන්ධව අපරාධමය විමර්ශනයක් සිදු කරන ලෙස වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි .