බන්ධනාගාර තදබදය අවම කරන්න ලංකාවේ නීතියට එක්වන අලුත් ක්‍රමවේදය

නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට “වරද පිළිගැනීමේ එකගතාවයකට පත්වීම” සඳහා වූ නව ක්‍රමවේදය ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට ලක් කිරීම වෙනුවෙන් පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීමත්, අධිකරණ කටයුතුවල ප්‍රමාදය අවම කර ගැනීමත් එමෙන්ම බන්ධනාගාර තදබදය අවම කර ගැනීමත් මෙම නව ක්‍රමවේද‍යේ අරමුණ වී තිබෙනවා.

යෝජිත සංශෝධන අනුව නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට විත්තිය සහ පැමිණිල්ල අතර වරද පිළිගැනීමේ එකගතාවයක් ඇති කරගැනීම සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දඩුවම, දඩ මුදල් හෝ වන්දි මුදල් අවම කර ගැනීම සඳහා නිර්දේශයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සදහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති අතර අදාළ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.