යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කළාපයේ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පවත්වා ඇත .
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කොළඹදී මෙම සාකච්චාව පැවැත් වූ බවයි.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියාකොන්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වූ බව වාර්තා වේ.
එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන ගැටළු විසඳීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත . තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත්කර ගැනීම පිළිබඳව ද කරුණුද මෙහිදී අවධානයට ලක්ව ඇත.