නැවත කොවිඩ් හිස ඔසවයි

පසුගිය කාල වකවානුවට සාපේක්ෂව නැවත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මෙලෙස කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළ අතර ඊට අමතරව කොවිඩ් ආසාදිත මරණ 02ක් ද පසුගිය දින 03 තුළ සිදුව ඇති බව වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මේ දිනවල දෛනිකව යම් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවය.

මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තා වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ද ඔහු පවසයි.

“පසුගිය දින කිහිපය තුළ දී කොවිඩ් රෝගීන් යම් ආකාරයක දෛනිකව වාර්තා වීමේ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය රෝහලෙන් වාර්තා වුණා. කොවිඩ් මරණයක් වාර්තා වුණා. ඊයේ දිනයේ හා පෙරේදා දිනයේ කොවිඩ් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. මේ තත්ත්වය අපි යම් ආකාරයක අවධානයට ගත යුතු තත්ත්වයක්. විශේෂයෙන් මේ වෙනකොට යම් ආකාරයක රට පුරා ශ්වසන රෝගී තත්ත්වයේ වැඩිවීමක් අපි දකිනවා. මේ අතරේ කොවිඩ් රෝගීන් ඉන්නවා ද කියන කාරණය පිළිබඳ යම් නිරීක්ෂණයක් හා පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ අවධානය යොමුකළ යුතුයි.”

පවතින තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *