කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ කර්මික දෝෂයක් හේතුවෙන් එය නැවත හරවාගෙන විත් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබා ඇත. ප්‍රංශයේ නිෂ්පාදිත A 330 එයාර් බස් වර්ගයේ තුර්කි යානයේ රෝද පද්ධතියේ මෙම කාර්මික දෝෂය හට ගෙන ඇත .
එම නිසා එහි රෝද යානය තුළට ගැනීමට නොහැකිවී ඇති අතර බරපතල අවධානමක් මැද ගුවන් යානය ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොල වෙත ගොඩ බැස්සවීමට එහි ගුවන් නියමුවා අද (17) අලුයම සමත් විය .
තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 10 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් ඉස්තාන්බුල් බලා පිටත්ව ඇත. එම අවස්ථාවේ එහි මඟීන් 202 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සිට ඇත.
මෙම ගුවන් යානය පිටත්වී මඳ වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැනී ඇත . ඒ අනුව ඔහු නැවත හදිසි ගොඩබැමකට කටුනායක ගුවන් තොටුපොළේ අවසරය ලබාගෙන ඇත . ඒහෙත් ඒ වන විටත් තුර්කිය බලා යාමට යානයේ ඉන්ධන පුරවා තිබීම නිසා එම තෙල් ඉවත්කර යානය සැහැල්ලු කර ගැනීමට නියමුවාට උපදෙල් ලබාදී ඇත .
ඒ අනුව සිය ගුවන් යානය හලාවත මුහුදු ප්‍රදේශය වෙත රැගෙන ගිය නියමුවා එය අඩි 4000 ක පමණ උසකින් රඳවාගෙන නාවික සැතපුම් (නෝට්ස්) 140ක පමණ වේගයකින් පියාසර කරමින් ගුවන් යානයෙහි වූ ඉන්ධන දහනය කිරීමට කටයුතු කර ඇත . ඒ සඳහා පැය දෙකකට අධික කාලයක් මෙම ගුවන් නියමුවා විසින් වැයකර තිබුනි .
අවසානයේ අද (17) අලුයම 12.27ට මෙම ගුවන් යානය ආරක්‍ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ගුවන් යානයේ නියමුවා සමත් විය .