ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්‍රාල් නිදහස්

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය .

එම අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ වැලක්වීමේ කොමිසමේ නීතීඥවරු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65 (බිලියන 1.8)ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී .