ක්‍රීඩා ඇමැති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වලිය දුරදිග යන ලකුණු

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර පවතින අර්බුදය එහි උපරිම තළයට ලඟාවෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් 10 දෙනෙකු ඉන්දියාවට යාමට කළ ඉල්ලීම ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක රැස්වීමට සහභාගිවීම සඳහා මෙම අවසරය ඉල්ලා ඇත. එහෙත් ජාතික ක්‍රීඩා සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා පමණක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමට සහභාගිවීම ප්‍රමාණවත් බවට සිදුකළ නිර්දේශයකට අනුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතීත්වය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් දරණා අතර ඔහු සහ ක්‍රිකට් ආයතනය අතර පවතින අර්බුදය මීට වක්‍රව බලපා ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගේ අත්සනින් යුත් ලිපියක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකරමින් ඊට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට අමතරව ලේකම් මොහාන් ද සිල්වා,සහ ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, උපලේකම් ක්‍රිශාන්ත කපුවත්ත සහ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන කණ්ඩායම මෙලෙස ඉන්දියාව බලායාමට අවසර ඉල්ලා තිබුනි.

මෙම විධායක කමිටු සාමාජිකයන් අටදෙනා ඉන්දියාවේ දින 10 ක සංචාරයක් සඳහාද අවසර ඉල්ලා තිබූන මුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදාළ රැස්වීම දින හතරක් පමණක් පැවැත්වෙන බව ජාතික ක්‍රීඩා සභාව නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතිබව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීම නොවැම්බර් මස 18 සිට 21 වනදා දක්වා ඉන්දියාවේ අහමදබාද් හිදී පැවැත්විමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *