කලාවැව නාමල් උයන අවට ප්‍රදේශවල වසර ගණනාවක් සැරිසරමින් සිටි බරණ නමින් ප්‍රචලිත දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපරාධයේ විමර්ශනවල උද්ධෘත (සටහන්) නීතිපතිවරයා වෙත යොමුකරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර එච්.එම්. එස්. බණ්ඩාර හට නියෝග කළේය.
ඒ මෙම සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
බරණ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයකට අනුව මීට පෙර තහනම් කෙරිණ. පසුව විමර්ශනවලට යටත්ව ඔහු යළි සේවයේ පිහිටවනු ලැබීය.
මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් (51622) ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ අජිත් කුමාර ජයසුන්දර යන අයයි.
බරණ දළ ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂයේදී මරණයට හේතුව විදුලිය සැර වැදීමෙන් හෘද වස්තුවට සිදුව ඇති බලපෑම බව එම පරීක්ෂණය පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ තහවුරු කර තිබුනි .