පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනය රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතින මිල සූත්‍රයට අනුකූලව සිදුකළ එකක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ කළ ප්‍රකාශය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශයක් මගින් බිඳ වැටී ඇත .
අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් වෙනස් වීම හමුවේ මිල සූත්‍රය ගණනය කරන කාලසීමාවන් පමණක් වෙනස් වී ඇති බවයි.
තෙල් මිල සූත්‍රය යනු කිසිසේත්ම සංකීර්ණ හෝ අමුතු දෙයක් නොවන බව පෙන්වා දුන් කළමනාකරණ අධ්‍යක්ෂවරයා, එහි අඩංගු වන්නේ තෙල් මෙරටට ගෙන්වන මිල සහ ඒ සඳහා වැයවන අනෙකුත් වියදම් පමණක් බව සඳහන් කළේය.
සංස්ථාව විසින් එම වියදම් ගණනය කර රජයට ඉදිරිපත් කිරීම පමණක් බවත්, අවසන් තීරණය ගනු ලබන්නේ රජය විසින් බවත් ඔහු එහිදී පැවසීය .
ලෝක වෙළඳපොළේ තෙල් මිල මීට පෙර මාසයක් පුරා ස්ථාවරව පැවති බැවින් මාසිකව මිල ගණනය කළ හැකි වුවද, වර්තමානයේ මිල සීඝ්‍රයෙන් වෙනස් වීම නිසා එම කාලසීමාවන් කෙටි කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වාදුන්නේය .
තෙල් මිල සූත්‍රය ගණනය කරන්නේ මාසික සාමාන්‍ය (Average) අගය මත නොව, එම මාසයේ ගෙන්වන ලද තොගවල වටිනාකම මත පෙන්වාදුන් ඔහු, දැන් ලෝකයේ මිල සීඝ්‍රයෙන් වෙනස් වන නිසා මාසයක් යනතුරු බලා සිටිය නොහැකි නමුත් ක්‍රියාත්මක වන්නේ එම සූත්‍රයම බව එහිදී කියා සිටියා.
කෙසේවෙතත් පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී පවතින සුවිශේෂී තත්ත්වයන් හේතුවෙන් මිල සූත්‍රය අනුව කටයුතු කිරීමට නොහැකි වූ බවට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණා.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සිදුවූ අසාමාන්‍ය උච්ඡාවචනය හමුවේ මෙවර මිල වැඩි කිරීම සඳහා සුපුරුදු මිල සූත්‍රය භාවිතා නොකළ බවත් සාමාන්‍යයෙන් ඩොලර් 4-5ක වැනි සුළු වෙනස්වීමක් සිදුවන්නේ නම් එය මිල සූත්‍රයට ගැලපිය හැකි වුවද, ඩොලර් 70-78 මට්ටමේ තිබූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 දක්වා ඉහළ යාම කිසිදු සූත්‍රයකින් පාලනය කළ නොහැකි බව ඔහු පැවසීය .