ආර්ථික වර්ධනය ප්‍රමානවත් නෑ . IMF පස්වෙනි සමාලෝචනය කල් දමයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 206 ක හදිසි මූල්‍ය ආධාර අනුමත කරමින් නිකුත් කළ නිවේදනයට අනුව, ඉදිරි වසරවලදී මෙරට ආර්ථික වර්ධන වේගය මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර තිබේ . ඒ අනුව 2025 වසරේ මෙරට ආර්ථික වර්ධනය 4.2% දක්වා පහත වැටෙනු ඇතිබව සඳහන් වෙයි .

වාර්තාවේ දැක්වෙන ආර්ථික දර්ශකයන්ට අනුව, 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.0 % ක්ක ලෙස දැක්වෙයි . එය 2025 වසරේදී 4.2% ක් දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව මෙරට ආර්ථික වර්ධණය 2026 දී 2.9% දක්වා තව දුරටත් පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ නොවැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. මෙම ව්‍යසනය හේතුවෙන් යටිතල පහසුකම් විනාශ වීම සහ ජීවනෝපායන් අහිමි වීම නිසා සැලකිය යුතු මූල්‍ය පීඩනයක් නිර්මාණය වී ඇති බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා අවධාරණය කරයි.

ඒ අනුව පවතින හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ පස්වන සමාලෝචනය (Fifth Review) කල් දැමීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි . ආර්ථිකයට සිදුවූ හානිය තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා 2026 මුල් භාගයේදී යළි ආරම්භ කිරීමට නියමිතය.