ආපදා කළමනාකරණයෙන් රජය දුරස් වෙලා – සූරිය මල් ව්‍යාපාරය කියයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනා මේ ජාතික ව්‍යසනය ඉතිහාසයේ මින් පෙර අප මුහුණ දුන් ව්‍යසනයන්ට වඩා බොහෝසේ බිහිසුණු එකක් බවත්, මෙවැනි ආපදා නිසි විලස කළමනාකරණය කර ගනිමින් අනාගතයේදී ඇති වෙන්නාවූ අර්බුද ජයගැනීමට පියවර ගතයුතු බවත් සූරිය මල් ව්‍යාපාරයේ ලේකම් රවීන්ද්‍ර ප්‍රදීප් කුලසේන පැවසීය . ඔහු මේ බව පැවසූවේ කොළඹ නිපෝන් හෝටලයේ පැවති සූරියමල් ව්‍යාපාරය නැවත සමාජගත කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි .

ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට නතුව පැවති සමයේ ආරම්භවූ සූරියමල් ව්‍යපාරය රටක් නියෝජනය කරන මැදිහත් පාර්ශව කරුවෙක් ලෙස කටයුතු කළ බවත්, එවැනි සංවිධානයකට ඕනෑම රජයක් හෝ ආයතනයක් වෙත මාර්ගෝපදේශ සපයමින් බලපෑම් කළහැකි කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් ඔහු එහිදී පැවසීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ අදහස් දැක්වීය,

”ආචාර්ය එන්.එම් පෙරේරා ප්‍රමුක වාමාංශික තරුණ ව්‍යාපාරය ආරම්භ කළේ අධිරාජ්‍ය විරෝධී ජාතික අරගලයට පණ දීමටයි . ඒ සූරිය මල් ව්‍යාපාරය වසර අනූ එකකට පසු නැවත සක්‍රියකර ජාතික දායාදයක් බවට පරිවර්තනය කිරීමට සියළු පුරවැසියන්ට අපි විවෘත ආරාධනයක් කරනවා . එවැනි සංවිධනයක් බිහිකිරීම මගින් වර්තමානයේ රට මුහුන දෙමින් සිටිනා තත්ත්වය බඳු ව්‍යසනයකදි ඊට වඩාත් හොඳින් මුහුන දීමට හැකි ශක්තිමත් යාන්ත්‍රණයකට කොටස්කරුවකු බවට අනාගත පරම්පරාව පත්කිරීමට හැකිවෙනවා .

දැන් පවතින තත්ත්වය අනුව රාජ්‍ය යාන්ත්‍රණය ආපදා කළමනාකරණයෙන් යම් දුරස් වීමකට ලක්වී ඇති බව පෙනෙන්නට තිබෙන්නවා . එවැනි අවස්ථාවක රජයට යම් මාර්ග උපදේශනයන් සැපයීමත්, අනාගතයේදී ඇතිවිය හැකි මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් නිවැරදිව කළමනාකරණය කර ගැනීමත් තමයි අපේ අරමුණ .

මේක ජාතියක් ලෙස මුහුන දිය යුතු ව්‍යසනකාරී තත්ත්වයක් .මේ අවස්ථාවේ විපතට පත් සහෝදර ජනතවට, ආහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම් සහ වෙනත් අවශ්‍යතවයන් සිය උපරිමයෙන් සපයමින් සහන ක්‍රියාවලියේ පෙරමුණ ගත්තේ මාධ්‍ය ආයතන කියන එක රටම දන්නවා . ඒ සියළු ආයතන වෙත සිය අපගේ ස්තූතිය සහ දඩි සහෝදරත්ත්වය පලකර සිටිනවා ”

මෙම මාධ්‍ය හමුව අමතමින් සුරියමල් ව්‍යාපාරයේ කමිටු සාමාජිකයන් වන රොහාන් කෝදාගොඩ, පේෂල සේරසිංහ, සැමදලා ජයසිංහ, වෛද්‍ය චූලා සෙනෙවිරත්න යන අයද අදහස් දැක්විය .