සුරක්ෂා රක්ෂණය යළි පණ දෙයි

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා දැමුණා.

රටේ දරු පරපුර ගැන සිතමින් සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම කාලෝචිත කාරණයක් බව කී මාරසිංහ මහතා පාසල් වයසේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා මෙමගින් මනා පිටුවහලක් ලැබෙන බව සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩල තීරණය සඳහන් පරිදි රක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් සුරක්ෂා රක්ෂණයට දායක කර ගැනීමට නියමිතව තිබෙන්නේ යැයිද මාරසිංහ මහතා පැවසුවා.

මෙම රක්ෂණය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසි ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වාත් , බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් විසිදහසක් දක්වාත්, අසාධ්‍ය රෝගී තත්ත්වයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 දක්වාත් ප්‍රතිලාභ හිමි වෙන බව ආශු මාරසිංහ මහතා සඳහන් කළා.

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල සිසුන් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවන බවද ආශු මාරසිංහ මහතා කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!