සංචාරක වීසා ගාස්තුව පැරණි අගයටම

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක වනවා.

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කරනවා.

සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලා තිබුණා.

එමෙන්ම එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.


ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!