ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් හොඳ මට්ටමක IMF කියයි .

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්ත්වයෙන් පැවැත්විනි . ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්චාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහභාගී විය .

මෙම සාකච්චාවේදී විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු විය . මෑතකාලීන ආර්ථික වර්ධනයන් මෙන්ම, දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමඟ මෙහිදී අදහස් හුවමාරු කරගත්හ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ලෙස ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම මගින් මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත් වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු එහි නියෝජිතයන් වන Martha Woldemichael, Enrique Flores Curiel, Dinar Prihardini, Ursula Wiriadinata, Ozlem Aydin, Yorbol Yakhshilikov, Klakow Akepanidtaworn සහ මානවි අබේවික්‍රම යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි විය .

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ,ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපෝන්සු, ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්‍යක්ෂ එස්. ජෙගජීවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.