විදෙස් රැකියා අවස්ථා රැසක වරම් ලංකාවට හිමිවේ

ජපානයේ සාත්තු සේවක හා එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා මෙන්ම යුරෝපයේ සාත්තු සේවක හා මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා රැසක් ලංකාවට හිමිව ඇති බව වාර්තා වේ.

ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බවත්, මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කළේය.

මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත්, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අද (18) උදෑසන අවභෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම අවභෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහිතකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබයි. විදේශ රැකියා අවස්ථා ලබාදීමේදී වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතය.

මෙම අවභෝධතා ගිවිසුම අනුව වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදුකරනු ලබයි.

“කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත යටතේ විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ අවස්ථාව තිබෙනවා. නමුත් පුහුණුව අපේ ප්‍රධාන කාර්යය නෙමෙයි. විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කිරීම තමයි මේ ආයතනයේ ප්‍රධාන කාර්යය වෙන්නේ. ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය මෙම ආයතනයේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙනවා. රැකියා සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම සදහා වන මූලික වගකීම් පැවරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණු කාර්යයෙන් ක්‍රමයෙන් ඈත් වෙලා, රාජ්‍ය අංශයේ පවතින වෘත්තීය පුහුණු ආයතනවලට හා රජය පිළිගත පුද්ගලික වෘත්තීය පුහුණු ආයතනවලට භාරදීමට අපි තීන්දුවක් ගත්තා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් විදියට ක්‍රියාත්මක කරනවා. අපි විදේශ ගත ශ්‍රමිකයින්ගේ හා පවුල්වල සුබසාධනය හා ආරක්ෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා.”

“වෘත්තීය පුහුණුව වෙනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරිය බිලියන තුනකට අධික මුදලක් වැය කරනවා. වෘත්තීය පුහුණුව තුළින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශාල ආදායමක් ලැබූ නමුත්, විදේශ රැකියා සදහා අවශ්‍ය කුසලතා සහිත ශ්‍රමිකයින් බිහි කිරීම, ශ්‍රම වෙලදපොලට අවශ්‍ය ආකාරයේ වෘත්තීය පුහුණුවක් ඇති කිරීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග අපි කටයුතු කරනවා. විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමේදී, රැකියාවට අවශ්‍ය පුහුණුවක් නොමැතිවීම හා ලැබූ පුහුණුව විදේශ රැකියා සදහා ප්‍රමාණවත් නොවීම යන ගැටලු අපි හදුනාගෙන තිබුණා. වෘත්තීය පුහුණු අධිකාරිය සමග ඇති කරගනු ලබන ගිවිසුම අනුව විදේශ රැකියා සදහා අවශ්‍ය ශ්‍රමිකයෙක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙනවා”

යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විසින් “මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය ශ්‍රමිකයින් බිහි කරගැනීමට වෘත්තීය පුහුණු අධිකාරියේ පූර්ණ සහාය අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් ද අදහස් ප්‍රකාශ කළේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *