විදෙස් ගත ශ්‍රමිකයන්ගේ තීරුබදු සහනය ඉහළ යයි.

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ලබන මුදල් ප්‍රමාණය ගුවන්තොටුපල දී ලබාගත හැකි තීරුබදු සහනය ඉහළ දැමීමට තීරණය මැයි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව තමන් එවූ මුදල් මත අතිරේක තීරු බදු සහන ලබා ගැනීමට හැකියා බදු සහන ලබා ගැනීමට හැකියාව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එමෙන්ම විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම වසරේ පළමු මාස දෙක තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවය.

“2023 වසරේ මේ මාස දෙකට විතරක් ඩොලර් මිලියන 844ක් ඇවිත් තියෙනවා. ජනවාරි පෙබරවාරි මාස දෙකේ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 464 හම්බෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් දෙගුණවීමක් වෙලා තියෙනවා.”

විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව අමෙරිකන් ඩොලර් 2,400 සිට 4,799 දක්වා එවා ඇති අයකුට ඩොලර් 600ක අතිරේක තීරුබදු දීමනාවක්, ඩොලර් 4,800 සිට 7199 දක්වා එවා ඇති අයෙකුට ඩොලර් 960ක අතිරේක තීරුබදු දීමනාවක් හිමි වේ.

ඩොලර් 7200 සිට 11,999 දක්වා අතර පරාසයේ මුදලක් එවා ඇති අයකුට ඩොලර් 1,440ක් ද ඩොලර් 12,000 සිට ඩොලර් 23,999 අතර එවා ඇති අයකුට ඩොලර් 2,400ක අතිරේක තීරුබදු දීමනාවක් ද හිමිය.

එමෙන්ම ඩොලර් 24,000ට වඩා වැඩියෙක් මෙරටට එවා ඇති විගමනික ශ්‍රමිකයින්ට අතිරේක තීරුබදු දීමනාව වශයෙන් ඩොලර් 4,800ක් හිමිවේ.

මේ පිළිබඳ අදහස් දැක්වු කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්, කේ.ඩී.ආර්. ඔල්ගා,

“විදේශගත ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා ඒ කාලසීමාවට දෙන තීරුබදු සහනයට අමතරව, ලංකාවට එවලා තියෙන ප්‍රේෂණ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ගෙන තමා මේ අතිරේක තිරුබදු සහනය ලබාදෙන්නේ. අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න යෙදවුමක් ලෑස්ති කරලා තියෙනවා. LankaRemit කියන ඇප් එක. තමන්ගේ ස්මාට් දුරකථනයේ මේක ස්ථාපනය කරගත්තහම ඒ හරහා බැංකුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඕනෑම කෙනෙක් ලංකාවට එන්න බලාපොරොත්තු වන දිනයට අඩුම ගානේ බැංකුව වැඩකරන ව්‍යාපාරික දින දෙකට කලින් මේ ඉල්ලීම ඉදිරිපත් කරන්න ඕනේ. මොකද බැංකුව හරහා මේ සම්බන්ධයෙන් ගතවන කාලයක් තියෙනවා. ඒ විදියට තමා මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට රේගුවේ දී ඒ නිලධාරීන් මේක පරීක්ෂාවට ලක්කරලා මේ පුද්ගලයාට කොච්චර ප්‍රමාණයක අතිරේක දීමනාවක් හිමි ද කියන එක බලලා ඒ ප්‍රමාණයට ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී බඩු භාහිර ආදිය මේ සහනය යටතේ ලබාගැනීමට හැකියාව ලැබනෙවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *