වැස්ස අඩු වුණත් අවදානම අඩු නැහැ

දිස්ත්‍රික 13කට අයත් පවුල් හැට දහසකට වැඩි පිරිසක් ජුනි 1 වැනිදා සිට පැවති ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

ඒ අනුව දෙලක්ෂ තිස් නවදහසකට වැඩි පිරිසක් ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ බවත් පුද්ගල මරණ 24ක් වාර්තාව බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නා.

පැවති වැසි සහිත කාලගුණය ක්‍රමයෙන් අඩු වුවත් නායයෑම් සහ ගංවතුර අවධානම තවමත් පහව ගොස් නැති බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව තවදුරටත් ගංවතුරෙන් යටවූ ස්ථාන නැරඹීම සඳහා යෑමෙන් වළකින ලෙසත් අනාරක්ෂිත ස්ථානයන්ගෙන් ඈත්ව සිටින ලෙසත් ඔහු ජනතාවට දැනුම් දෙනවා.

පසුගිය දින කිහිපය තුළ පැවති ආපදා තත්ත්වය නිසා මේ වනවිට ආරක්ෂිත ස්ථාන සියයකට ආසන්න ප්‍රමාණයක පුද්ගලයන් හත් දහසකට අධික සංඛ්‍යාවක් තාවකාලිකව රඳවා තබා තිබෙන බවයි කොඩිප්පිලි මහතා පැවසුවේ.

විපතට පත් වූවන්ට සහන වැඩපිළිවෙලක් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත් ගංවතුරින් යට වූ නිවාස පිරිසිදු කර ගැනීම සදහා එක් නිවසකට රුපියල් දස දහසක මුදලක් ලබා දෙන බවත් ඔහු පැවසුවා.

ඒ අනුව එම සහනාධාර ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීතුමන්ගේ සහතිකය සහ නිර්දේශය අවශ්‍ය බව දන්වමින් ඔහු පෙන්වාදුනේ එම සහනාධාරය ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීතුමා සහ ජාතික ආපදා සහන සේවා නිලධාරින් හා සම්බන්ධ වන ලෙසයි. නැතහොත් 117 දුරකථන අංකය හරහා සම්බන්ධ වී ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න ගත හැකි බවත් ඔහු පැවසුවා.

එමෙන්ම ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙසේ ද පැවසුවා.

“කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය ඒ වගේම ගිං, නිල්වෙලා යන ගඟ දෙපස සිටින ජනතාව තවදුරටත් විමසීමෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මේ වන විට නිකුත් කර තිබූ රතු නිවේදන සියල්ල ඉවත් කොට තිබෙනවා. නමුත් විමසිලිමත් වීම සහ අවධානමෙන් සිටිය යුතු බවට නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ගාල්ල, කළුතර, නුවර කෑගල්ල මාතරත්නපුර යන දිස්ත්‍රික්කය තවදුරටත් ආපදා තත්තවයන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න.

එමෙන්ම නායයෑම් ලක්ෂණ පිළිබඳව වැඩිදුරටත් විමසීමෙන් සිටින්න”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!