වර්ජනය කළ දුම්රිය රියදුරන්ට වැඩ වරදින ලකුණු

මෙම වර්ජනය හිතාමතාම මහජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන එකක් බවත් එවැන්නක් සිදුකළ අයට අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් පළ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, වැඩ වර්ජනය කරනු ලබන දුම්රිය එන්ජින් රියදුරන්ගේ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

වර්ජකයින්ගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඇය වැඩිදුරටත් මෙලෙස පැවසුවා.

“06 වනදා වනවිට උසස්වීම් ලිපි 57ක් අපි නිකුත් කරලා තිබුණා. 83න් 57ක් කියන්නේ 50%කටත් වැඩි අගයක්. 06 වැනිදා රාත්‍රියේ ඉඳලා වර්ජනය ක්‍රියාත්මක වූ නිසා මේ අයට මූලික කටයුතු කරන්නේ අපේ දෙපාර්තමේන්තුවේම උප දෙපාර්තමේන්තුවක් වන ධාවනබල දෙපාර්තමේන්තුව.

අපි ධාවනබල දෙපාර්තතමේන්තුවට ගිහිල්ලා විමසීම් කරලා අඩුපාඩු සහිත ඉතුරු ඒවා ටිකත් එදා හවස 04 වෙනකොට අපේ දෙපාර්තමේන්තුවට යොමුකරලා තිබුණා. ඒ පත්වීම් ලිපි මේ වෙනකොට සකස් කරලා ඉවරයි. එතකොට සියලුම පත්වීම් 70ක් අපිට නිකුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. පත්වීම් 13ක් පමණයි ප්‍රශ්න තියෙන්නේ.

ඒ පත්වීම් 13 ලබා දෙන්න නම් ඒවා දෙපාර්තමේන්තු කඩයිම් පරීක්ෂණ සහ දෙවන භාෂා ප්‍රවීණතාවය ලබාගැනීම සහ විනය පරීක්ෂණ කටයුතු අවසන් කර ගතයුතු වෙනවා. ඒ වගේම මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් තියන්න අපි සැලසුම් කරලා තියෙනවා. වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිතියේ ලේකම් තමයි හැම වෙලාවෙම මාධ්‍ය තුළත් කතා කරනවා දකින්ට ලැබුණේ. සභාපතිවත් වෙන අයවත් හිටියේ නෑ. මේ වර්ජනය හිතාමතාම මහජනතාවත් රජයත් අපහසුතාවයට පත් කරන්න කරපු වර්ජනයක් විදියට තමයි මම දකින්නේ.”

දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්කරාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා දැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ සාමාන්‍යධිකාරී ඇතුළු නිළදාරීන් සියලුදෙනාම සිටින්නේ ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා මතයේ බවයි.”

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරන්ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!