රුසියාවේ සහ යුක්‍රේනයේ යුද්ධයට ලාංකිකයෝ 600ක් බලෙන් යවලා – ඇමති දයාසිරි

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරුවල රැකියා දෙන බව පවසා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් 600කට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (7) දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඊයේ (07) රැස්වීමක් පැවැත්වුණා. ඒ සඳහා දයාසිරි ජයසේකර සහ ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරු පැමිණ සිටියා.

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරුවල සේවය කිරීමට බව කියා පුවත්පත්වල දැන්වීම් පළ කර රුපියල් ලක්ෂ දහ අට බැගින් ලබාගෙන මෙම ශ්‍රී ලාංකික පිරිස එම රටවලට යවා ඇතැයි දයාසිරි ජයසේකර මහතා එහිදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එම රටවලට ගිය යුද්ධය සඳහා යොමු කරනු ලැබූ පිරිසෙන් පහළොස්දෙනකු මේ වන විට මිය ගොස් ඇති බවත් ඔවුන්ගේ දේහයන්වත් සොයා ගැනීමට නොමැති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කර ගෙන තිබෙනවා.

යුද්ධයේ දී ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්ව එවැනි තවත් පිරිසක් මිය ගොස් ඇති බවට තොරතුරු ඇතැයි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

එම රටවලට ගිය සැණින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ හතක චේතනයක් ලබා දෙන බවට ඔවුන්ට පොරොන්දු වී ඇතත් මාස ගණනාවකින් ඔවුන්ට චේතන ලබාදී නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙම කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් රුසියා රජය සමග සාකච්ඡා කර එම ශ්‍රී ලාංකික පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර මෙම වංචාවට හසු වූ පුද්ගලයන් සිටී නම් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසද රජය ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!