රජ පවුලේ රහස් සමඟ හැරී ගේ “Spare” කෘතිය එළිදකී.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආන්දෝලනාත්මක චරිතයක් වන හැරී කුමරු පසුගිය 10 වැනිදා සිය ජීවිතය අළලා ලියූ “Spare” නම් කෘතිය ප්‍රකාශයට පත් කළේ ය. අමෙරිකානු නවකතාකරුවෙක් වන J. R. Moehringer ගේ සහය ද ඇති ව, හැරී කුමරු රචනා කළ එම කෘතිය, නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති Penguin Random House නම් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.

හැරී කුමරුගේ ජීවිතයේ ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් මෙම කෘතිය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන් ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් ද පිහිටුවා තිබේ. බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල එය නිකුත්කළ පළමු දිනයේ දී ම පිටපත් මිලියන 1.43ක් අලෙවි වී තිබීම පදනම් කරගෙන එය ගිනස් පොතට ඇතුළත් ව තිබේ.

2021 වසරේ සිට හැරී සිය ජීවිතයේ සුවිශේෂී සිදුවීම් සහ අත්දැකීම් පාදක කරගෙන චරිතාපදානයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ නමුත් කෘතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඊට අදාළ කටයුතු හරහා හැරී කුමරුට ඩොලර් මිලියන 20කට ආසන්න ආදායමක් ලැබී ඇති බව ද මාධ්‍ය හරහා වාර්තා විය.

සිය චරිතාපදානය පිළිබඳව අදහස් දක්වමින් හැරී පැවැසු බව සඳහන් වේ.
“ඉපදෙන අවස්ථාවේම කුමාරයෙක් බවට පත් වූ පුද්ගලයා ලෙස නෙවෙයි, අද වන විට මා යම්කිසි ආකාරයක පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා, ඒ පුද්ගලයා ලෙස තමයි මං මේ පොත ලියන්නේ. වසර ගණනාවක් තිස්සේ මා විවිධාකාරයේ අත්දැකීම්වලට මුහුණ දී තිබෙනවා. මම මුහුණ දුන් ඉහළ පහළ යාම්, සිදු කළ වැරැදි සහ උගත් පාඩම් ඇතුළත් මගේ කතාව ඔබට පැවැසීමෙන් මා බලාපොරොත්තු වන්නේ අප කුමන තත්ත්වයක සිටියත් – අපට පොදු බොහෝ දේ අප හිතනවටත් වැඩි ප්‍රමාණයක් තිබෙන බව ඔබට වටහා දෙන්නට යි.”

පිටු 416කින් යුතු මෙම කෘතිය මුද්‍රිත පිටපත් ආකාරයෙන් මෙන් ම ඩිජිටල් පිටපත් ආකාරයෙන් ද වෙළෙඳපොළට නිකුත් කර ඇත.

ඉංග්‍රීසි භාෂාවට අමතර ව තවත් භාෂා 15කට පරිවර්තනය කර ඇති කෘතියේ ශ්‍රව්‍ය පිටපත පැය 15ක ඇසුම් කාලයකින් යුක්ත වේ. හැරී සහ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් මෙම කෘතිය වෙළෙඳපොළට නිකුත් කර දිනක් ඇතුළත එහි පිටපත් මිලියන 1.4ක් පමණ අලෙවි විය. එම වාර්තාවල සඳහන් වූයේ ඔහු සිය චරිතාපදානය අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් විවිධ පුණ්‍ය කටයුතු සඳහා සංවිධාන කිහිපයකට යෙදවීමට නියමිත බව යි.

මෙම කෘතියේ හැරීගේ ළමා කාලය, ඔහුගේ මව වූ වේල්සයේ කුමරිය – ඩයනා කුමරියගේ අභාවය ඔහුට බලපෑ අයුරු, තරුණ වයසේ දී ඔහු මුහුණ පෑ යම් යම් ගැටැලුකාරී තත්ත්ව, බ්‍රිතාන්‍ය හමුදාවට සම්බන්ධ වී ඇෆ්ගනිස්ථානයේ ගත කළ කාලය වැනි කරුණු මූලික වශයෙන් විස්තර කර ඇත. ඊට අමතර ව තෙවැනි චාල්ස් රජු (පියා), ඔටුන්න හිමි විලියම් කුමරු (සොහොයුරා), කැමිලා රැජන (සුළු මව), මේගන් මා(ර්)ක්ල් (බිරිය) සහ දෙවැනි එළිසබෙත් රැජන (මිත්තණිය) සහ හැරී කුමරු අතර සම්බන්ධතාවේ විවිධ පැතිකඩ ද විස්තර කොට ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *