“මට ඇති තර්ජන ගැන හොයන්න විමර්ශන අවශ්‍ය නැහැ” – මන්ත්‍රී හර්ෂගෙන් CID ට දැනුම්දීමක්

තමාට ජීවිත තර්ජනයක් ඇති බවට පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

මන්ත්‍රීවරයාට තර්ජනය සිදුකළ කණ්ඩායම පිළිබඳ CIDය විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති මන්ත්‍රී හර්ෂ ද සිල්වා කටුනායක ගුවන්තොටුපළේ වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම නවත්තන ලෙස කියමින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මූලික කරගෙන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ සම්බන්ධයෙන් CID විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ CIDයට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් බවයි.

එසේම එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ බවත් එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම් දී තිබෙනවා.

දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍යවන්නේ නම් නැවත දැනුම්දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!