බාල ගල්අඟුරු නිසා වන පාඩුව දඩගහලා පියව ගන්න බෑ.

ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගාවොට් පැය දෙකක් රටට අහිමිවී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි. ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

සිදුවූ පාඩුව, අදාළ සමාග‍මෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන දඩය මෙන් දෙගුණයකට ආසන්න බව ඔහු එහිදී පැවසීය .

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය .

මේ අතර බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කළ නොහැකි බවයි.