පොලිස් රාජකාරියට බාධා කළ වැලිගම හිටපු සභාපතිට වැඩ වරදී

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ට මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

බලපත්‍රයක් නොමැතිව වටිනා දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන සිටිය දී ඔවුන් නිදහස් කරන්නැයි බල කරමින් පොලිස් රාජකාරියට බාධා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහුව මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ.

කොටවිල පොලීසියේ නිලධාරීන් පසුගියදා කොටවිල වරකාපිටිය මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතවී සිටිය දී එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වු කුඩා ලොරි රථයක් පරීක්ෂා කර තිබුණා.

එහිදී බලපත්‍රයක් නොමැතිව නැදුන්, මහෝගනී, සහ කොස් යන දැව ලොරි රථයේ තිබූ හමු වීම නිසා එම ලොරි රථයේ රියදුරු සහ රිය සහායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ලොරි රථය යොදා ගනිමින් බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටිය දී ඉකුත් මාර්තු මස 15 වැනිදා කනංකේ පොලීසිය මගින් ද සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!