නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්තශාලාවේ biomass boiler ව්‍යාපෘතියකට ආයෝජනය කරයි 

නෙස්ලේ ලංකා සමාගම, තිරසර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිය කැපවීම යළිත් වරක් තහවුරු කරයි
ශ්‍රී ලංකාව තුළ පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ වුව ද, ශ්‍රී ලංකාවට යහපතක් කිරීමේ සිය ගමන අඛණ්ඩව සිදුකරමින්, තිරසරභාවය පිළිබඳ දැඩි අවධානයක් සහිතව තවදුරටත් ආයෝජන කිරීමට නෙස්ලේ ලංකා සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, ‘යහපත් ආහාර, යහපත් දිවිය‘ (‘Good food, Good life’) යන තේමාව යටතේ ක්‍රියාකරන නෙස්ලේ ලංකා සමාගම, රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක් සිදුකරමින් සිය කුරුණෑගල කර්මාන්තශාලාවේ ජෛවස්කන්ධ බොයිලේරුවක් (Biomass Boiler) පිහිටුවීමට නියමිත ය. වර්ෂ 2050 වනවිට සිය සැපයුම් දාමය තුළ වායු විමෝචනය ශූන්‍ය කිරීමේ නෙස්ලේ ලංකාහි ඉලක්කය කරා ළඟා වීමට මෙම ව්‍යාපෘතිය බෙහෙවින් උපකාරී වනු ඇත. 2023 වසරේ මැද භාගයේදී ආරම්භ වීමට නියමිත මෙම ව්‍යාපෘතිය Build-Own-Operate-Transfer (BOOT)  ආකෘතිය අනුව සිදුකිරීමට Thermax Energy & Environment Lanka පුද්ගලික සමාගම සමඟ නෙස්ලේ ලංකා සමාගම ගිවිසුම්ගතව සිටියි.
ප්‍රජාවට පමණක් නොව පරිසරයට ද හිතකර ආකාරයෙන් තම මෙහෙයුම් තිරසරබවින් යුතුව සිදුකිරීම පිළිබඳව නෙස්ලේ සමාගම දැඩි අවධානයක් යොමුකරයි. ඒ අනුව, සිය සමස්ත සැපයුම් දාමය තුළ හරිතාගාර වායු විමෝචනය වර්ෂ 2025 වනවිට 20%කින් ද, වර්ෂ 2030 වනවිට 50%කින් ද, වර්ෂ 2050 වනවිට 100%කින් ද අවම කිරීමේ පුළුල් සැලැස්මක් සමාගම සතු වේ. නෙස්ලේ ලංකා සමාගම තිරසරභාවය කරා යන ගමනේ මෙම ව්‍යාපෘතිය සුවිශේෂී සන්ධිස්ථානයකි. එනම්, මෙම ව්‍යාපෘතිය හරහා පමණක් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවන හරිතාගාර වායු විමෝචනය 37%ක්  වැනි  ප්‍රමාණයකින් අවම කිරීමට හැකි වේ.
වර්ෂ 1984දී ආරම්භ කෙරුණු කුරුණෑගල පිහිටි නෙස්ලේ කර්මාන්තශාලාව හරහා ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. වසර 115කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදුකරන නෙස්ලේ ලංකා සමාගම, වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. එමෙන්ම 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි සහ පොල් ගොවීන් මෙන්ම ගෙවතු වගාකරුවන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායකවන නෙස්ලේ ලංකා සමාගමේ ඍජු රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි.  අඛණ්ඩව ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇති නෙස්ලේ ලංකා සමාගම, පසුගිය වසරේදී නෙස්ලේ නෙස්ටොමෝල්ට් සහ නෙස්ලේ මයිලෝ වැනි මෝල්ට් නිෂ්පාදන ධාරිතාව නැංවීම සඳහා Vacuum Band Dryer ඒකකයක් පිහිටුවීමට රුපියල් බිලියන 2කට අධික මුදලක් ආයෝජනය කරන ලදී.
සමාගමෙ නවතම ආයෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 2023 පෙබරවාරි 9 වැනිදා පැවැත්වුණි. කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් යන මහත්වරු ද, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා සහ කළමනාකාර අධ්‍යක්ෂ (පත්වීමට නියමිත) බර්නාඩ් ස්ටෙෆන් යන මහත්වරු ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
″මෙවැනි ආර්ථික අවිනිශ්චිතතාවක් පවතින මොහොතකදී නෙස්ලේ ලංකා සමාගම අඛණ්ඩව අප රට තුළ ආයෝජනය කිරීමත්, විශේෂයෙන්ම පරිසර හිතකාමී බලශක්ති භාවිතය වෙනුවෙන් ආයෝජනය කිරීමත් සතුට දනවන කාරණයක්. මෙවැනි ආයෝජන මගින් තිරසර ආර්ථික පුනර්ජීවයක් වගේම, අපේ අනාගත පරපුරට යහපත් හෙට දවසක් උදා කිරීමටත් හැකිවෙනවා″, යනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද උත්සවය අමතමින් ඔහුගේ අදහස් මෙසේ දැක්වීය, ″අන් කවරදාටත් වඩා තිරසරභාවය අද වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් නෙස්ලේ ලංකා ආයතනය ගෙන ඇති ප්‍රයත්නය ඉතාම ප්‍රශංසනීයයි. ජෛවස්කන්ධ (biomass) බලශක්තිය වැනි පරිසර හිතකාමී ක්‍රමවේද තිරසර මෙහෙයුම් සඳහා වැදගත් වේ. ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති අනෙකුත් සමාගම් විසිනුත් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා″.
″වසර 115කට වැඩි කාලයක් පුරා අඛණ්ඩ ආයෝජන, රසවත් සහ  සෞඛ්‍ය සම්පන්න ආහාර, දේශීය ප්‍රජාව සඳහා දායකත්වය සහ හරිත හා පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වන අපගේ මුලපිරීම් මගින්, ශ්‍රී ලාංකිකයින්ට ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ අපගේ කැපවීම සහ උත්සාහය කිසි විටෙකත් අතපසු කර නැත. පරිසරයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරන මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ලැබීම මට ඉමහත් ආඩම්බරයක්. ඒ වගේම, මෙම ව්‍යාපෘතිය තුළින් අපගේ මෙහෙයුම් සඳහා අවශ්‍ය ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය අවම කරගැනීමට හැකිවීමත් සතුටට කාරණයක්. ‘වත්මන් සහ අනාගත පරපුරේ ද ජීවිතවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ශක්තියක් වීමේ’ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, වර්ෂ 2050 වන විට ශුද්ධ  වායු විමෝචනය ශුන්‍ය කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලාංකිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා″, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම ගනු ලබන විවිධ පියවර ගණනාවක් පසුගිය කාලයේ ඇගයීමට පාත්‍රවිය. හොඳම ආයතනික තිරසර සම්මාන (2022) (Best Corporate Citizen Sustainability Awards) උළෙලේදී සම්මාන හයක් දිනාගැනීමට සමාගම මෑතකදී සමත් වීම කැපීපෙනේ. ඊට, 2022 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේ තෙවැනි ස්ථානය, හොඳම ආයතනික පුරවැසියන් 10 අතරට පිවිසීම,  කර්මාන්ත අංශ සම්මානය, Triple Bottom Line සම්මානය – පරිසර තිරසරභාවය, පරිසර ඒකාබද්ධතාව වෙනුවෙන් අංශ සම්මානය සහ මූල්‍ය කාර්යසාධනය වෙනුවෙන් අංශ සම්මානය අයත් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *