නතර වූ සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන්න අතිරේකව මිලියන 8,750

නැවතී ඇති අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750ක අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු නැවත පියවීමේ අපේක්ෂාවෙන් එම අතිරේක ප්‍රතිපාදන සදහා අනුමැතිය ඉල්ලූ බවයි සේමසිංහ මහතා පෙන්වාදෙන්නේ.

ඒ අනුව මෙය වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්මේන්තුවක් නොවන බව ද හෙතෙම අවධාරණය කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ නැවත පියවීමේ අපේක්ෂාවෙන් ලබා ගන්නා මෙම මුදල හේතුවෙන් අයවැය පරතරයට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

පසුගිය වසර කිහිපයක තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් අත්හිටුවීමට සිදු වූ බවත් ග්‍රාමීය මාර්ග, පාලම්, කුඩා වැව්, ඇළ මාර්ග, ග්‍රාමීය රෝහල් සහ පාසල් වැනි ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විගස මෙරට සංවර්ධන ව්‍යාපෘති සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!