දෙව්ලොවේ සිට අපායට දුර මැනීම නොහොත් අමාත්‍යංශයේ සිට රෝහලේ දුෂ්කර බව තීරණය කිරීම

දුෂ්කර රෝහලක වෛද්‍යවරු මුහුණපාන දුෂ්කරතා මොනවාදැයි කියා දන්නේ ඒවායේ සේවය කරන වෛද්‍යවරු පමණයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA එකවත් රජයවත් එය හරියාකාරව නොදනී.ඒ බව දන්නවා නම් මෙවැනි අර්බුදයක් පැන නොනගී.

දුෂ්කර කඳුකරයේ රෝහලක වසර හතරකට වැඩි කාලයක් සිරවී එයින් ගැලවුණු මා ඒ ගැන සවිස්තරාත්මකව විග්‍රහයක් කිරීමට දැන් සූදානම්ය.

වසර කිහිපයකට පෙර ‘දුෂ්කර’ ලේබලයේ යටතේ පැවැති සමහර රෝහල් , කාලයත් සමග දියුණුවී දැන් ඒවායේ දුෂ්කර ලේබලය ඉවත්කළ නිසා සාමාන්‍ය පරිදි වෛද්‍යවරු අනුයුක්ත කල බව රජය පවසයි.මෙම කියමන කොතරම් දුරට නිවැරදිද කියා සොයා බලමු.

‘ දුෂ්කර’ යනු නගරයෙන් ඈත පිහිටි, ගමනාගමනය අසීරු තැන් පමණක් නොවේ. , ජල විදුලි සැපයුම , නවාතැන් පහසුකම් වැනි මූලික මනුෂ්‍ය අවශ්‍යතා හැර සලකා බැලිය යුතු වෙනත් වැදගත් කරුණු රාශියක් ඇත. මේ ප්‍රශ්ණය විශේෂයෙන් පැන නගින්නේ, ඈත පළාත්වල පිහිටි කුඩා රෝහල් සඳහාය. එවැනි රෝහලකට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාවද සුළුපටු නොවේ. උණ හෙම්බිරිස්සාව පමණක් නොව හදිසි අනතුරු, සර්පයින් දෂ්ඨ කිරීම්, දරු ප්‍රසූති සඳහා, වස විස පානය කිරීම්, ළමයින්ගේ හදිසි ආබාධ, පිහි ඇණුම් ඇතුළු ගුටිබැට, වැනි නොයෙකුත් රෝගීන් පැමිණි විට එවැනි රෝහලක විශේෂඥ වාට්ටු නැත. සිටින්නේ කෝකටත් තෛලය වගේ එක වෛද්‍යවරයකු සමග උපස්ථායක සහ උපස්ථායිකාවක් පමණි.

වාසනාවක් තිබුනොත් හෙදියකුද, සහකාර වෛද්‍ය කෙනෙකු (AMP) ලැබුනොත් නිදි දෙව්දුව ගැන යම් බලාපොරොත්තුවක් තැබිය හැක. ඒ වගේ තමන්ට කියා වාහනයක් මේ පත්වීම් ලබන බොහෝ වෛද්‍යවරුන්ට නැත. එනිසා නිල නිවාසය ටිකක් එහායින් තිබුනොත් පිහිටට එන්නේ දෙපාවල පිහිට පමණි.

මා එතරම් වාසනාවන්ත නොවුනේ වාහනයක් ගැනීමට තරම් මුදලක් අතේ නොතිබී වාහන ණය සඳහා අයදුම් කර බලා ගෙන සිටි නිසාය,.එනිසා රාත්‍රියට පැමිණෙන රෝගීන් බැලීමට තේවතු, පල්ලම් බැස , සර්පයින් මැදින්, විදුලි පන්දමක් පිහිටෙන් දිනපතා එක රැයකට දෙතුන් වතාවක් නැගිට රෝහලට යාමට සිදුවීමේ කරුමය මා පසුපස ආපු නිසයි.
නමුත් වාසනාවක් මාහට පෑදුනේ අසල රෝහලක මිතුරු වෛද්‍ය වරයෙකුගේ උපදෙසක් නිසාය.

” මචං ඔය රෑට ඉස්පිරිතාලේ ගේන ලෙඩ්ඩු එන්නෙ වාහනේකින්. වැඩිපුරම තේ වතුවල ලොරිවලින්. ඉස්පිරිතාලේ ආපු ගමන් එතැන බස්සවන්නෙ නැතුව කෙලින්ම ඒ අයව ක්වාටස් එකට ඇටෙන්ඩන්ට් කෙනෙක් එක්ක ගෙන්වාගෙන බලලා ඊට පස්සෙ ඒ ගේන ටිකට් වල බෙහෙත් ලියලා යවපං” . ඒ වැඩේ හිතට සතුටකි. ඒත් දවස් දෙක තුනකින් වැඩේ අවුල් විය. එදා රෑ හිටපු මිසීට බඩයන ලෙඩාට සේලයින් එකක් දී ගන්න නහර සොයාගන්න පමාවී රෝගියාට අසාධ්‍ය විය. එදා රෑ රෝහලට දුවපු දිවිල්ල නිසා උරණ වුණු මගේ බිරිඳ රෝගීන් ක්වාටස් ගෙන ඒමට තහනම් නියෝගයක් පැනවීය.

මේ දුෂ්කරතා මොනවාද? අපේ මරබිය ඊට ලොකුය. රෝහලේ බෙහෙත් දීමට ඖෂධවේදීන් හිටියේ නැත. හිටියේ ඩිස්පෙන්සර් කෙනෙකු පමණි. ඔහු නිවාඩු දවසට දවල් කාලයේ උපස්ථායක කෙනෙකු ඒ රාජකාරි කලේය.හෙදියන් දෙතුන් දෙනෙකු සිටියත් ඒ අයට නිවාඩු , ඩේ ඕෆ් දෙන්න අවශ්‍ය නිසා බොහෝ විට වාට්ටු තුන හතරටම ඉන්නේ එක හෙදියකි. වස බිව් රෝගියෙකු ආවොත් අනික් වැඩ සිදුකර අහවරය.

මාසෙන් බාගයක් ගිලන් රථය කැඩිලාය. නැතිනම් රියදුරු නිවාඩුය. නැතිනම් සේවකයන්ට වැටුප් ගෙන ඒමට හෝ ඖෂධ සහ උපකරණ ගෙන ඒමට එය ගබඩා වලට ගිහින්ය.
අසාධ්‍ය ලෙඩුන් ගේන විටම සේලයින් එකක් දීලා කි.මී 30-40ක් ඈතින් පිහිටි මූලික රෝහලක් වෙත යැවීම අපේ ප්‍රතිපත්තිය විය. මන්ද ලෙඩා අපි ලඟ මළොත් අපිට ඇත්තේ දෙවි පිහිට පමණය. ඖෂධ , උපකරණ, පිරිස් බලය වර්තමානයේත් අංග සම්පූර්ණ නැත. හැම මාධ්‍යකම අඩුපාඩු ගැන අඳෝනා කියැවේ.

ඉතින් මේ ගිලන් රථ ප්‍රශ්නයටද මිතුරු වෛද්‍ය වරයෙකු වටිනා උපදෙසක් දුන්නේය. ” ලෙඩාව ගේන ලොරියෙම එයාව නුවරඑළියෙ යවපං” ඒ සඳහා එම රෝගියා අයිති වතු අධිකාරිට කතා කර අවසරය නොගත්තොත් ලොරි රියදුරු යාමට බැහැ කියයි. ඒ වැඩත් අපටම බාර විය.

ඒවා ක්‍රමයෙන් පුරුදු විය. ඊලඟට ඔළුව අවුල් කලේ පොලිසියයි. ගුටි කෙළි, බීමතින් වාහන එලවීම, වස බීම මෙන්ම මරණයක් වුනු විට පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට අපටම සිදුවීම හිසරදයකි. නිදහසේ අපට ටවුමකටත් යාමට බැරි විය. අපව අවශ්‍ය වූ විට සොයාගන්න බැරි තැනක හිටියොත් මුහුණු හොඳ නැත.

දැන් නම් මොබයිල් දුරකථන ඇති නිසා ඒ නිදහස යම් තරමින් ඇත. මිනී කැපීම හෙවත් පශ්චාත් මරණ පරීක්ෂණ සතියට දෙක තුනක් තියෙන්නෙ වස බීපු ඒවාය. නිවාඩුවට ගෙදර යාමට ඊලඟ ලඟම රෝහලේ ඩී.එම්.ඕ ට කියා අත්සන් ගත යුතුය. එතුමා නිවාඩු යන්න ඕනි විට මගෙන් අත්සන් ගන්න එයි.

වාසනාවට එවැනි අවස්ථාවක ඒවාට අසාධ්‍ය රෝගීන් ආවොත් කෙලින්ම මූලික රෝහලක් වෙත යැවීමට ඔවුන්ට උපදෙස් ලබා දී ඇත. ඒ නිවාඩු කාලය තුල පොලිස් කේස් හා පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නගරයේ අධිකරණ වෛද්‍යවරයාට යැවිය යුත්තේ ගිලන් රථයකිනි. යැවූ පසු එතුමාගෙන් සෑහෙන වෙලාවක් බැනුම් ඇසීමට සූදානම් වී සිටිය යුතුය.

නැවතීමට නිල නිවාස, ජලය, විදුලිය, ගමනාගමනය ඇතුළු මූලික මනුෂ්‍ය පහසුකම් තිබුනත් මාගේ මිතුරන්ට ඔවුන්ගේ ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති පාසල්, පෞද්ගලික ටියුෂන්,ඒවාට ඇති දුර, බිරිඳ ගේ සේවා ස්ථානයට දුර,ආදිය නිසා රාජකාරි කාලය තුල ඒවාට ඒ අය එක්ක යාමට සිදුවෙයි. නගරයේ වගේ පුද්ගලික බස් සේවා අඩුය. ඒ කාලයේ මට ළමයින් සිටියේ නැත. ළමයින් ලැබුනේ නගරයට මාරු ලැබූ පසුවයි. එනිසා හොඳ පාසලක් සොයා ගැනීමට මට වාසනාව ලැබුනි.

පලාතේ දේශගුණය, උෂ්ණ ගතිය , පිච්චෙන රස්නය වගේම හිස ගල්වෙන, පපුවට ඇදුම් එන සීතල. මෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබා දීමට සිටින සහායක වෛද්‍ය , සාත්තු සේවක, ඖෂධවේදී සංඛ්‍යා, ඔවුන්ගේ නිල නිවාසද වෛද්‍යවරුන්ට වැදගත්ය. ඔවුන් ඇත සිට එනවා නම් හදිසියකදී ගෙන්වා ගැනීමට බැරිය.

වෛද්‍යවරුන්ගේ සේවය කාර්යාලයක සේවයක් නොව පැමිණෙන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමයි. එසේ නොවෙතොත් මරණයකදී කුපිත ජනතාව ඉදිරියේ අපගේ සහ අපේ අඹු දරු ජීවිත අවදානමේය.

මේ දිනවල ජනතාව වෛද්‍ය වරුන්ට කරමු කියන දඬුවම් වර්ග වල විස්තර මාධ්‍යවල කොමෙන්ට් වලින් බලා ගත හැක.

අතේ ඇඟිලි ගණනට අඩු සේවක පිරිසක් සමග , රුධිර බැංකු, පරීක්ෂණාගාර ,ඖෂධ, තබා රෝගියා මරණයට පෙර ලොකු රෝහලකට යවා ගන්න ක්‍රියා කාරී ගිලන්රථයක් නොමැතිව මා අසරණ වු වාර ගණන අනන්තය.

රෝගියෙකු හදිසියේ මැරුණොත් අපේ අඹු දරුවන් ගෙවල්වලට යවා මරණ බියෙන් සිටි අපේ අපහසුතා ගැන වර්තමානයේ රටේ මහජනතාව තබා රජයටවත් මේවා ගැන අවබෝධයක් නැත.

දුෂ්කර රෝහල් ගැන කියන්න ඒවායේ සේවය කරන වෛද්‍ය වරු හැර අන් අය කෙසේ කියන්නද.

විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී රාජපක්ෂ .