දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක් අද දිනයේ දී

ඉතා දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක් අද දිනයක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වසරේ පළමු සූර්යග්‍රහණය වන එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7.04 සිට දහවල් 12.29 දක්වා සිදුවන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

මෙම දුර්ලභ සූර්යග්‍රහණය සාමාන්‍යයෙන් දෙමුහුන් ග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන්නේ චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය හරහා ගමන් කරන විට පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම හේතුවෙන්.

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ ප්‍රදේශවලට සෘජුව දර්ශනය නොවන අතර, සූර්ය ග්‍රහණය, වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන පෘථිවියේ ඇත්තේ දෙකක් පමණක් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බව ද කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කර ඇත.

බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණක් වීම ද විශේෂත්වයක්.

දෙමුහුන් සූර්යග්‍රහණක් ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය සිදු වන්නේ 2031 නොවැම්බර් මාසයේදී ය.

මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවුන ද නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශනය නැරඹිය හැකි බව, කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *