තාවකාලික පදිංචිකරුවන් සොයා පොලිසිය කරන අලුත් මෙහෙයුම

දිවයින පුරා විවිධ ආකාරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ස්ථිර පදිංචි පොලිස් වසම් වලින් බැහැරව කුලී නිවාස සහ කුලී කාමරවල රැදී සිටිමින් නීතිවිරෝධී කටයුතු වල නිරතවන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පසුගිය 11 සහ 12 යන දෙදින තුළ එක් එක් ග්‍රාම නිළධාරි වසම්වල තාවකාලික පදිංචිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම හා පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා කුලී හා බදු පදනම මත ලබාගත් නිවාසවල පදිංචි පවුල් 37,183 ක පුද්ගලයින් 112,963 දෙනෙකුද, කුලී හා බදු පදනම මත ලබාගත් කාමරවල පදිංචි පවුල් 10,755 ක පුද්ගලයින් 34,133 දෙනෙකුද, නිවාස, ආයතනවල මුරකරුවන්, ගෘහ සේවක/ සේවිකාවන්/ සාත්තු සේවිකාවන් ලෙස තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් 31,517 දෙනෙකුගේ ඇතුළු පුද්ගලයින් 178,600කට අධික පිරිසකගේ තොරතුරු රැස් කර ගත් බව පොලිසිය පෙන්වාදෙනවා.

මෙම ⁣එක් එක් පුද්ගලයින් අපරාධ වලට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නියාමනය කිරී⁣මේ දත්ත පද්ධතිය (Arrested Monitoring Information System – AMIS), ස්වයංක්‍රීය ඇගිලි සලකුණු හදුනාගැනීමේ පද්ධතිය (Automated Fingerprints Identification System – AFIS) වෙත යොමු කර වාර්තා ලබාගැනීමටත්, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත පද්ධතිය යොමු කිරීමටත් කටයුතු කර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද පොලිසිය සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!