එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මීට පෙර කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් අද දින මෙම වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල් වෙත යැවීමටත්, මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.