ගංවතුර නිසා මිය ගිය කුකුළන්ගේ මස් හඳුනාගන්න හැටි මෙන්න

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවධානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරියේ පොදු සේවා සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා පවසනවා.

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය නිසා කුකුළු ගොවිපළවල් රැසක් ජලයෙන් යට වූ බවත් එම නිසා එහි සිටි කුකුළන් ‍රාශියක් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව පෙන්වා දුන් ජයසුන්දර මහතා එලෙස මිය ගිය කුකුළන් සුද්ද කර, ඇසුරුම් කර, වෙළඳපොළට නිකුත් කර ඇති බවට සිය සංගමයට පැමිණිලි රැසක් ලැබුණු බව පැවසුවා.

ගංවතුර නිසා මිය ගිය එම කුකුළන්ගෙන් ලබා ගත් මස් වෙළඳපොළ තුළට නිකුත් කර ඇති නිසා එමගින් වෛරස්, බැක්ටීරියා රෝග මහජනතාව වෙත බෝවීමේ අවධානමක් ඇති බව ජයසුන්දර මහතා පෙන්වාදෙනවා.

කූට ව්‍යාපාරිකයන් විසින් සිදුකරන මෙම ක්‍රියාව සිය සංගමය හෙළා දකින බව ඔහු පවසනවා.

වෙළදපොළේ කුකුළු මස් මිල දී ගැනීමේ දී මේ දිනවල ජනතාව වඩා සැලකිලිමත්විය යුතු බව පෙනවාදුන් ජයසුන්දර මහතා කුකුළු මස් මිල දී ගැනීමේ දී ජනතාව අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් පිළිබදව ද srilankanews.lk අප කළ විමසීමක දී ඔහු මෙලෙස පැහැදිලි කළා.

“පණ තියෙන කුකුළෙක් මරලා, සුද්ද කරලා පැකට් කළාම ඒ මස් සුදු පැගැයට හුරුයි. මොක ද ඒ කුකුළා මරද්දී උගේ බෙල්ල හරහා ලේ ඉවතට යනවා. හැබැයි ලේ ගිහින් මැරුණෙ නැති කුකුළෙක්ගෙ මස් රතු පැහැයට හුරුයි. ගං වතුරෙන් මැරුණ කුකුළෙකුගේ මස්වල පැහැයත් රතු පැහැයට හුරු වෙන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගිකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා කුකුළු මස්වල පැහැය රතු පැහැයට හුරු නම් එම මස් මිල දී ගන්න එපා කියලා.

ඒ වගේම මේ දිනවල වෙළඳපොලේ කුකුළු මස් මිල අඩු කරලා තියෙනවා. කුකුළු මස් මිල අඩු කිරීම තුළ අපට පැහැදිලි වෙන්නේ ගංවතුර නිසා මිය ගිය කුකුළන්ගේ මස් වෙළදපොළට එවා ඇති බවයි. විශේෂයෙන් සුපර්මාකර්ට් ආශ්‍රිතව මස් මිල දී ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!