කුහක නැත්තම් පිළිගන්න ඕන රනිල් තමයි රට හැදුවේ – මන්ත්‍රී නිමල් පියතිස්ස

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඇති වී තිබූ ආර්ථික අසහනකාරී වාතාවරණය තුළ මනුෂ නානායක්කාර ඇමතිතුමාට පැවරුණේ ප්‍රබල වගකීමක් බවත් ලංකාවෙන් වෙනත් රටවලට විදේශ ශ්‍රමිකයන් යැවීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරමින් අපේ රටට ඩොලර් ලබා ගැනීම සදහා මනුෂ නානායක්කාර අමාත්‍යවරයා විශාල දායකත්වයක් දැක්වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (17) නුවරඑළියේ පැවැත්වෙන “ජයගමු ශ්‍රී ලංකා” ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.

ඉදිරි කාලයේ දී ආවේගයට, ප්‍රචණ්ඩත්වයට, රැල්ලට ගොදුරු නොවී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව දැනට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් තුළින් ගොඩනැගෙන රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය හොඳ මාර්ගයක් ජනතාව තෝරාගත යුතු බව එම අවස්ථාවේ දී නිමල් පියතිස්ස මහතා සඳහන් කළා.

මන්ත්‍රීවරයා මෙලෙස තවදුරටත් අදහස් එක් කළා.

“පසුගිය කාලයේ රටේ පැවති ආර්ථික අසහනකාරී වාතාවරණයෙන් රට මුදවා ගනිමින් රට තුළ සාමකාමී වාතාවරණයක් හදන්න එක් පාර්ශවයක් උත්සාහ ගත්තා. තවත් පාර්ශවයක් උත්සාහ ගත්තේ රටේ පැවති එම අරාජික තත්ත්වය මුල් කරගනිමින් තම තමන්ගේ දේශපාලනික පැවැත්ම හදාගන්න. ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ ආවේගය පදනම් කරගනිමින් බොරදියේ මාළු බෑවා.

ඒ කාලයේ රටේ නායකත්වය ගැන ප්‍රබල ගැටළුවක් මතු වුණා. මොන තරම් දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ හිටියත්, මොන තරම් දේශපාලන පක්ෂ නායකයන් හිටියත් අපේ රට පත් වෙලා තිබුණ විපතින් මුදවගන්න ඔය දැන් ඉන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා තමයි රටේ පැවති අභියෝග බාරගෙන, පරිණත දේශපාලනඥයෙක් විදියට බය නැතුව මේ රට භාරගත්තේ. කුහක නැත්තම් අපි පිළිගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තට පස්සේ රටේ තිබුණු බොහෝ ගැටළුවලට විසඳුම් ලැබුණා කියලා.

මේ වාතාවරණය තුළ කැමති වුණත්, අකමැති වුණත් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක රටේ ඉදිරිගමන යන්න වෙනවා. නැතිනම් නැවතත් තුන්වේල කන්න නැති, පෝලිම් යුගයක් නිර්මාණය වන මහා ඛේදවාචකයක් මේ රටේ ඇති වෙනවා.”