කුරුණෑගල තරුණයාගේ අතුරුදන් වීමේ සිද්ධියට ඇප ලැබූ “සිඟිති” යළි රිමාන්ඩ් කළේ ඇයි?

කුලියාපිටිය ප්‍රදේශයේ සුසිත් ජයවංශ නැමති තරුණයාගේ අතුරුදන්වීමට සැක කෙරෙන සිඟිති නොහොත් සුජිත් ප්‍රනාන්දු නැමති ප්‍රධාන සැකකරු ඊයේ (06) අධිකරණයට භාර වීමෙන් පසු ඔහුට ඇප ලබා දීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා තීන්දු කළ නමුත් එහි දී සැකකරුවාගේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.

සැකකරු මෝසමක් මගින් සිය නීතිඥයන් හරහා අධිකරණයට භාර වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළා.

අනතුරුව අධිකරණය සැකකරුගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා දීමට අපොහොසත් වූ නිසා අධිකරණයේ දෝශදර්ශනයට ද ලක් වුණා. හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් නඩුව පසුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත් අතර සවස එම නඩුව කැඳවන අවස්ථාවේ දී ද සැකකරුට සිය හැඳුනුම්පත අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණා.

අදාළ තරුණයාගේ අතුදන්වීම සම්බන්ධයෙන් තවමත් විමර්ශන කටයුතු සිදු කරන බව අධිකරණය හමුවේ පොලිසිය පැවසුවා. එමෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තා තවමත් ලැබෙමින් පවතින බවත් නිශ්චිත සැකකරුවන් සොයා ගැනීම සදහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවද සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!